Resus Energy PLC මහියංගනයේ ඉදි කළ 06Mwක සූර්ය විදුලි බලාගාරය ජාතික පද්ධතියට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන Resus Energy PLC සමාගම සිය නවතම පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘතිය ලෙස මහියංගනයේ ඉදිකළ  සූර්ය විදුලිබලාගාරයේ මෙහෙයුම් ආරම්භ කළ බව පවසයි.

මෙම විදුලිබලාගාරයේ ධාරිතාව මෙගාවොට් 06කි. රජයේ මූලිකත්වයනේ ක්‍රියාත්මක සූර්ය බලසංග්‍රාම ව්‍යාපෘතිය යටතේ මෙම විදුලිබලාගාරය ඉදිකෙරී තිබේ. රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි මෙම සූර්ය විදුලි බලාගාරයෙන් නිපදවෙන විදුලිය මහියංගන ග්‍රිඩ් උපපොළ වෙත සම්බන්ධ කෙරී තිබේ.

Resus Energy PLC සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 1 කට අධිකය. මේ සඳහා නවීනතම තාක්ෂණයෙන් යුත් සූර්ය ප්‍රකාශ වෝල්ටීය පැනල, ඉහළ මට්ටමේ ඉන්වර්ටර් උපාංග යොදා ගෙන ඇතැයි එම සමාගම පවසයි.

මෙම විදුලිබලාගාරය හරහා වාර්ෂිකව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන විදුලිය විදුලි ඒකක මිලියන නවයක් හෙවත් 9GWh (ගිගාවොට් 9ක්) කි. මෙය Resus Energy PLC සමාගමේ දෙවැනි සූර්ය ප්‍රකාශවෝල්ටීයතා පරිශ්‍රය ලෙසින්ද සැලකෙයි. සමාගමේ පළමු පරිශ්‍රය සියඹලාන්ඩුව ප්‍රදේශයේදී ඉදි කෙරිණි.  ඒ හරහා ජාතික පද්ධතිය වෙත මෙගාවොට් 08ක් එක් කරයි.

විශේෂයෙන්ම වර්තමානයේදී රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සහ ඒ හරහා ගොඩනැගී ඇති බලශක්ති අර්බුදය වෙත මෙම ව්‍යාපෘති මනා පිළියමක් බවද Resus Energy PLC සමාගම පවසයි.

මෙම නවතම ව්‍යාපෘතියත් සමගින් Resus Energy PLC සමාගම මගින් මෙහෙයවන ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරුණු සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ යයි. මේ සියල්ලගේ ධාරිතාව මෙගාවොට් 24ක් වන අතර, ඉන් වාර්ෂිකව උත්පාදනය වන විදුලිය ගිගාවොට් 60ක් ලෙස ගණන් බලා තිබේ.

Visits: 150