ජෝන් කීල්ස් පදනම ‘පරිසර දිනය‘ වෙනුවෙන් සුදුවැලිපොත වන සංරක්ෂණ මෙහෙවරක

ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් කළ බව පවසයි.

ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ‘Cinnamon Nature Trails’ හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ ස්වේච්ඡා දායකත්වයෙන් මෙය සිදුකරන ලදි.

2021 වසරේදී ආරම්භ කර, මෙම වසර මුලදී ‘Cinnamon Rainforest Restoration Project’ ලෙස නැවත දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, ‘රුක් රැකගන්නෝ’ සංවිධානය සහ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව, ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීත්වය සහිතව ක්‍රියාවට නංවන ක්‍රමෝපායික ව්‍යාපෘතියකි.

මේ යටතේ කලවාන ප්‍රදේශයේ පිහිටි සුදුවැලිපොත වනාන්තරයේ හානියට පත් වූ අක්කර 59 ක්, එම වනාන්තරයට ආවේණික තුරුලතා භාවිතයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ. මෙහි අරමුණ වන්නේ, සුදුවැලිපොත වනාන්තරය ශ්‍රී ලංකාවේ පහත රට විශාලතම වැසි වනාන්තරය සහ ජෛව විවිධත්ව පාරාදීසයක් මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන සිංහරාජ වනාන්තරයට සමාන වනාන්තරයක් බවට පත්කිරීම ය. ජාතික මෙහෙවරක් වෙනුවෙන් රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙන්ම,  ඒ සඳහා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ ප්‍රජාවද දායක කරගැනීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය මනා ආදර්ශයකි.

“Cinnamon Rainforest Restoration Project වැඩසටහනේ ප්‍රථම අදියර පෙන්නුම් කළ සාර්ථකත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ප්‍රවීණයන්ගේ මගපෙන්වීම සහිතව, ස්වේච්ඡාවෙන් දායක වන පිරිසක් විසින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන්, වනාන්තර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමටත්, ඒ පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම වැඩසටහන 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන, ස්වභාවධර්මයට අනුකූලව තිරසාරව ජීවත්වීමේ සහ පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ‘එකම පෘථිවියක්’ යන්නෙහි අරුත කැටිකරගත් වැඩසටහනක්ද වනවා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින තත්ත්වයන් යටතේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහනට ස්වේච්ඡාවෙන් දායක වීම අප අතිශයින් දිරිගන්වනසුලුයි. ඉදිරියේදීත් පරිසරය සුරැකීම සඳහා තවත් මෙවැනි වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වනවා.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.

ස්වේච්ඡා කණ්ඩායමේ ප්‍රධානතම කාර්යය වූයේ මිනිස් දම්වැලක් සැදී, පැළ 580 ක් පමණ පැළ තවාන්වල සිට කඳු මුදුනට රැගෙන යාම ය. ගමන් කළ යුතු වූ දුර සහ උස අනුව මෙය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවී ය.

“මෙය ඉතාමත් වෙහෙසකර කටයුත්තක් වුවත්, ඒ ඔස්සේ අප ලබාගත් අත්දැකීම ඉතාමත් වටිනවා. පැළ රැගෙන යාමේදී වරින් වර වැසි ඇද හැලුණත්, අරමුණ වෙනුවෙන් කැපවෙමින් නොසැලී අපේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අපට හැකි වුණා.” ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් නියෝජනය කරමින් ස්වේච්ඡා කණ්ඩායමට එක් වූ ජනිත් පෙරේරා මහතා පැවසී ය.

Visits: 75