ලෝක බැංකු ආධාර ලෙස ලැබුණු ඩො.මි. 600ක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යෙදවීමට එකඟතාව

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකග වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ සඳහන් කළේය.

වත්මන් ආර්ථික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බව ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවන විට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඒ මහතා පවසා ඇත. එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අදාළ IMF ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බවත් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුවද නොමග යාම සිදුවූ බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ නිසා මෙම ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සදහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කර තිබේ.

එහිදී උදාහරණ ලෙස මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ල වූ විරෝධය හමුවේ එය ක්‍රියාවේ යෙදවීමට නොහැකිවූ බවත් අනතුරුව අද වන විට එය යළිත් හඳුන්වා දීමට සිදුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හමුව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද කැඳවා තිබුණි.

Visits: 149