Ceyoka (පෞද්) සමාගම නේෂන් ලංකා ෆිනෑන්ස් හි 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (CSF.N0000) සමාගමෙහි කොටස් 192,027,496ක් මිලදී ගැනීමට Ceyoka (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙහිදී කොටසක් රුපියල් ශත 70ක් බැගින් මිලදී ගැනීම සිදු කර ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 134ක් (134,419,247.20ක්) ලෙස සටහන්ව තිබේ.

Ceyoka (පෞද්) සමාගම සඳහන් කරන ආකාරයට මෙය නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 10%කට වඩා වැඩි ප්‍රතිශතයක් එනම් 14.18%කි.

මෙම Ceyoka (පෞද්) සමාගම නවලෝක හෝල්ඩිංග්ස් සමාගමට අයත් සමාගමකි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ නවලෝක සමූහ සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පුත් හර්ෂිත් ධර්මදාස මහතාය. එසේම ඒ මහතා නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ උප සභාපතිවරයාද වෙයි. මීට අමතරව නවලෝක සමූහයට අයත් තවත් සමාගම් 18කද අධ්‍යක්ෂවරයෙකු  ලෙසද ඔහු කටයුතු කරයි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 751,556,976ක් එනම් 55.52ක් හිමිව ඇත්තේ වී.ආර්. රාමනන් මහතාටයි.

එසේම දෙවැනි වැඩිම කොටස් ප්‍රතිශතය හිමිව ඇත්තේ ඩීඑෆ්සීසී බැංකුව සහ හර්ෂිත් ධර්මදාස මහතා එක්ව පවත්වාගෙන යන ගිණුමටයි. එය කොටස් 141,587,275ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 10.46%කි.

මිට අමතරව හර්ෂිත් ධර්මදාස මහතා සතුවද සමාගමේ කොටස් 94,274,100ක් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 6.96%කි. නවලෝක සභාපති ජයන්ත ධර්මදාස මහතා සතුවත් කොටස් 87,536,211ක් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 6.47%කි.

Visits: 160