විපක්ෂනායක සජිත් මහා භාණ්ඩාගාර ලේකම් හා මහ බැංකු අධිපති හමුවෙලා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡාවක් පැවැත් වුනු බව ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඒ අනුව මෙම අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා තමන් සෑම විටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඒ යටතේ මහ බැංකු අධිපතිවරයා සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා අතර වඩාත් සාර්ථක සාකච්ඡාවක් පැවැත් වූ බවත් විපක්ෂනායකවරයා පවසා තිබේ.

නමුත් තමන් ලබා දෙන සහයෝගය කිසිවිටෙකත් අර්බුදය නිර්මාණය කළ වුන් සමගින් එක්ව කටයුතු කිරීමෙන් සිදු නොකරන බවත් ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂනායකවරයා නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ ආර්ථික කමිටුවේ සාමාජිකයන් වන පා.ම. ආචාර්ය හර්ෂද සිල්වා, පා.ම. කබීර් හෂීම් සහ පා.ම. ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අද පෙරවරුවේදී පැවැත් වූ සාකච්ඡාවක්ද, එසේත් නොමැති නම් සමගි ජන බලවේගය වර්තමාන ආර්ථික අර්බුදය පිටුදැකීම සඳහා පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ශ්වයන් සමගින් සිදුකළ සාකච්ඡාවක් අතරතුරදී සංවිධානය වූ අවස්ථාවක්ද යන්න පැහැදිලි නැත.

Visits: 141