අද ලොව වඩාත් ජනප්‍රිය ස්මාට්ෆෝන් හරහා සිදුවන විකිරණ විමෝචනයේ ප්‍රභලතාව මෙන්න

ස්මාට්ෆෝන් උපාංගයක් යනු වර්තමාන එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත්ව තිබේ. මෙම උපාංගය හරහා අපගේ කටයුතු වඩාත් පහසු කරවීම ඊට හේතුවයි. ඇතැම් විට බොහෝ දෙනෙකු දිනකට පැය 5ත් 6ත් අතර වේලාවක් මෙම ස්මාට්ෆෝන් උපාංග සමගින් කාලය ගත කරයි.

එහෙත් දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව මෙම ස්මාට්ෆෝන් උපාංග හරහා ඉතාමත් කුඩා විකිරණ විමෝචනයක් සිදු වන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ නිකුත් වෙන විකිරණ වෙත සෑම දිකනකදීම අපගේ ශරීරය කොපමණ ප්‍රමාණයකින් නිරාවරණය වන්නේද යන්න සහ ඉන් අපට සිදුවන හානිය මෙහි ඇති ගැටලුවයි.

මෙලෙස ස්මාට්ෆෝන් හරහා සිදු වන මෙම විකිරණ විමෝචනය සම්බන්ධයෙන් ජර්මනියේ විකිරණ ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් කාර්යාලය (German Federal Office of Radiation Protection) මගින් දත්ත එක් රැස් කිරිමක් සිදු කර තිබේ.

එහිදී ඔවුන් අද වනවිට වෙළෙඳපොළේ ඇති වඩාත් ජනප්‍රිය ස්මාට්ෆෝන් උපාංග කිහිපයක් ඊට යොදා ගෙන තිබේ. එහිදී මෙම උපාංග පිටකරන විකිරණ ප්‍රමාණය එකිනෙකට වෙනස් මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.

එම කාර්යාලයට අනුව ස්මාට්ෆෝන් සහ අනෙකුත් ජංගම උපාංග මගින් ඉතාමත් කුඩා ප්‍රමාණයක රේඩියෝසංඛ්‍යාත විකිරණ පිට කිරීමක් සිදු කරයි. යම් පුද්ගලයෙකු ස්මාට්ෆෝන් උපාංගයක් භාවිතා කිරීමේදී හෝ එය තමන් අසල තබා ගෙන සිටිද්දී හෝ මෙලෙස දුරකතනයෙන් පිටවන විකිරණ එම පුද්ගලයාගේ සිරුර වෙත උරා ගැනීම හෙවත් අවශෝෂණය වීම සිදු වෙයි.

මෙලෙස ස්මාට්ෆෝන් උපාංගයක් හරහා සිදුවන විකිරණ විමෝචනයේ පරාමිතිය හෙවත් අගය නියත අවශෝෂණ අනුපාතය (SAR – Specific Absorption Rate) ලෙස හැඳින්වෙයි. මෙය යම් ජංගම උපාංගයක් භාවිතයේදී අපගේ ශරීරය මගින් උරාගන්නා විද්‍යුත්චුම්භක බලයේ ප්‍රමාණය අනුව ගණන් බලා ඇති ඒකකයකි.

අද වනවිට යුරෝපියානු සංගම් කවුන්සිලය මගින් ජංගම දුරකතන සඳහා වන මෙම විකිරණ ප්‍රමිතිය කිලෝග්‍රෑමයට වොට් 2ක් (2watts) ලෙස නියම කර තිබේ.  

මෙම SAR අගයන් ගණන් ගැනීම දුරකතන කණ ආසන්නයේ තබා ගෙන කතා කරද්දී සහ අපගේ සාක්කුවක බහා තබද්දී යනාදී ලෙස අවස්ථා දෙකකදී ලෙස සිදු කරයි.

වර්තමානයේ වෙළෙඳපොළේ ඇති ජනප්‍රියතම ස්මාට්ෆෝන් උපාංග අතරින් මෙම SAR අගය හෙවත් නියත අවශෝෂණ අනුපාතය  වැඩිම දුරකතනය වන්නේ Motorola Edge දුරකතනයයි. ඉන් කිලෝග්‍රෑමයක් සඳහා වොට් 1.79කි. එසේම දෙවැනි ස්ථානයේ සිටින ZTE හි Axon 11 5G දුරකතනයේ මෙය 1.59 කි. තෙවැනි ස්ථානයේ ඇති OnePlus 6T ස්මාට්ෆෝන් උපාංගය තුළ මෙය කිලෝග්‍රෑමයක් සඳහා වොට් 1.55කි. සිව්වැනි ස්ථානය ගන්නා Sony Experia AX2 Plus තුළ මෙය 1.41ක් වන අතර පස්වැනි ස්ථානයේ පසුවන Google Pixel 3Xl සහ 3A Xl හිදී එය 1.39 ක අගයක් ගනී.

මීට අමතරව 6 වැනි ස්ථානයේ පසුවන Google Pixel 4A හි මෙම SAR අගය 1.37 ක් වන අතර, හත්වැනි ස්ථානයේ පසුවන Oppo RENO 5G ස්මාට්ෆෝනයේ එය 1.36 කි. අටවැනි ස්ථානයේ ඇති SONY XPERIA XZ1 දුරකතනය තුළ මෙය කිලෝග්‍රෑමයක් සඳහා වොට් 1.36කි. එසේම මෙම ඉහළම SAR මට්ටමේ නව වැනි සහ 10 වැනි ස්ථාන හිමි කරගෙන ඇත්තේ 1.33ක අගයක් ගත් ONEPLUS 6 මාදිලිය සහ Google PIXEL 3 මාදිලියයි.

මේ අතර ලොව අඩුම විකිරණ පිටකිරීමේ මට්ටමක් සහිත ස්මාට්ෆෝන් 10 අතරින් පළමු තැනට පත්ව ඇත්තේ ZTE BLADE V10 මාදිලියයි. එහි SAR හෙවත් නියත අවශෝෂණ අනුපාතයේ අගය 0.13 කි. එසේම දෙවැනි ස්ථානයේ පසුවන SAMSUNG GALAXY NOTE10+ හි එම අගය 0.19කි. තෙවැනි තැන පසුවන SAMSUNG GALAXY A80 හිදී එම අගය 0.22ක් ගෙන තිබේ. සිව්වැනි තැන පසුවන LG හි G7 THINO ස්මාට්ෆෝනයේ එම මට්ටටම 0.24කි. පස් වැනි ස්ථානය ගන්නා SAMSUNG GALAXY M20 හි එම SAR අගය 0.25ක් ගෙන තිබේ.

හයවැනි ස්ථානය ගන්නා SAMSUNG GALAXY S10 5G හි එම අගය 0.26ක් ගන්නා අතර, හත්වැනි සහ අටවැනි ස්ථානවල පසුවන Motorola RAZR5G සහ LG G8X THINQ හි එම අගය 0.27කි. නව වැනි තැන පසුවන SONY XPERIA 5II හිදී එය 0.28ක අගයක් ගන්නා අතර දහවැනි ස්ථානයේ ඇති HUAWEI Y7 ස්මාට්ෆෝනයේදී එය 0.30ක අගයක් ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ස්මාට්ෆෝන් හරහා සිදුවන විකිරණ විමෝචනයේ ඇති දරුණු බලපෑම පිළිබඳව මේ දක්වා කිසිදු පර්යේෂණයක් හරහා පැහැදිලිවම ඔප්පු කෙරී නැත. ඒ අනුව අඩුම තරමින් ස්මාට්ෆෝන් උපාංගය හේතුවෙන් තමන් නිරාවරණය වන විකිරණ මට්ටම පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුදුසු උපාංගය තෝරා ගැනීමේ අවස්ථාව මෙවැනි පර්යේෂණ හරහා අද වනවිට පාරිභෝගිකයා වෙත උදා කර දී තිබීම ගැන සෑහීමකට පත්විය යුතුය.

Visits: 184