HNB සහ එම්.ඞී. ගුණසේන සමාගම එක්ව ග්‍රාමීය පාසල්වලට පොත්පත් පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල්වලට පොත්පත් සහ වටිනා කියවීමේ උපකරණ පරිත්‍යාග කිරීමේ ”වෙනසකට පොතක් පරිත්‍යාග කරන්න” (donate a book for change) යන සමාජ සත්කාර (CSR) වැඩසටහනට සහාය වීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ පොත් ප‍්‍රකාශන ආයතනයක් වන එම්.ඞී. ගුණසේන සහ සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

මෙම ආයතන දෙක විසින් HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට අත්සන් තබන ලදී. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB ජාල කළමනාකරණ සහ ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී, සුපුන් ඩයස්, HNB ප‍්‍රධාන කාර්යාලයේ පිහිටි පාරිභෝගික ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, දිලංක ද සිල්වා මෙන්ම එම්.ඞී ගුණසේන සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රජිව් ගුණසේන, එම්.ඞී ගුණසේන සහ සමාගමේ අධ්‍යක්ෂ, හසිත නානායක්කාර සහ එම්.ඞී ගුණසේන සහ සමාගමේ අධ්‍යක්ෂ, යෙවින්ද අමරසේකර යන මහත්වරුන් මීට සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය. ”එම්.ඞී. ගුණසේන සහ සමාගම විසින් දිවයිනේ ගම්බද ප‍්‍රදේශවල පාසල් දරුවන්ට උපකාර කිරීමේ අරමුණින් වසර දෙකක් පුරාවට ”වෙනසකට පොතක් පරිත්‍යාග කරන්න” වැඩසටහන කි‍්‍රයාත්මක කරනවා. මෙම සුවිශේෂී වැඩසටහන දිවයින පුරා සිටින සිසුන්ට ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා රුකුලක් වනු ඇති අතර එහි කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අප ඉතා සතුටු වෙනවා.” යනුවෙනි.

මෙම උතුම් කාර්යය සඳහා පොත්පත් පරිත්‍යාග කිරීමට පාරිභෝගිකයින් සහ HNB කාර්ය මණ්ඩලය දිරිමත් කරමින් HNB විසින් තෝරාගත් HNB ශාඛාවල පොත්පත් ලබාදීම සඳහා විශේෂ පෙට්ටි තබනු ඇති අතර රට පුරා ග‍්‍රාමීය පාසල්වල දරුවන්ට උපකාර කිරීමෙන් එම ප‍්‍රජාවගේ සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමට ද බැංකුව දායකත්වයක් ලබා දෙනු ඇත.

”HNB යනු දිවයින පුරා පිහිටි පාසල් සමඟ දිගුකාලීන සබඳතා ඇති බැංකුවක්. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමෙන් මෙම හවුල්කාරීත්වය උපරිම ලෙස භාවිත කිරීමට අප ඇති කරගත් මෙම හවුල්කාරීත්වය කදිම අවස්ථාවක් බව අප විශ්වාස කරනවා. ග‍්‍රාමීය සිසුන්ට ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පොත්පත් ලබා දීමට අපට ලබා හැකි ඕනෑම සහයෝගයකට අප කෘතඥ වනවා.” යනුවෙන් එම්.ඞී ගුණසේන සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රජීව් ගුණසේන මහතා පැවසුවේය.

HNB සහ එම්.ඞී ගුණසේන සමාගම එක්ව පරිත්‍යාග කළ පොත්පත් ලබා දෙන පාසල් තෝරාගෙන ඉදිරියේදී මෙම වැඩසටහන හරහා ප‍්‍රතිලාභ ලබන පාසල් දරුදැරියන් වෙත ඒවා ලබා දීමට නියමිතය. මෙවැනිම CSR වැඩසටහන් සඳහා HNB හට දිගුකාලීන සැලකිලිමත් බවක් ඇති අතර එහිදී ඔවුන් පාසල් පුස්තකාල 200කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කර එම පාසල් සඳහා පොත් පරිත්‍යාග කර ඇත.

පාරිභෝගිකයින්ට දැන්  ඕනෑම HNB ශාඛාවකට ගොස් අළුත් හෝ හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත්පත් පරිත්‍යාග කිරීමෙන් මෙම වටිනා කාර්යභාරයේ කොටස්කරුවෙකු වීමට හැකිය.

Visits: 54