ඉන්දියාව රුසියාවේ බොර තෙල් බැරලයක් ඩොලර් 70කටත් වඩා අඩුවෙන් ඉල්ලයි

රුසියාවේ බොරතෙල් බැරලයක් එක්සත් ජනපද ඩොලර් 70ක වට්ටම් මුදලකට ලබා ගැනීමට ඉන්දියානු බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව එරට මාධ්‍ය අනාවරණය කරයි.

අද දිනය වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108ත් 109ත් අතර අගයක් ගෙන තිබුණි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින්ම මෙතෙක් රුසියාවේ බොරතෙල් මිලදී ගත් රටවල් රැසක්ම එම තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේම මේ වසර ඇතුළතදී රුසියානු බොරතෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමටත් ඇතැම් යුරෝපා රටවල් තීරණය කර ඇත.

මෙම තත්ත්වයත් සමගින්ම ඉන්දියාව රුසියාව සමගින් බොරතෙල් මිලදී ගැනීමේදී කේවල් කිරීමක් දක්වා ගොස් ඇතැයි සඳහන් වෙයි. මේ සඳහා දෙරටේම ඉහළ මට්ටමේ සාකච්ඡාද පැවැත්වී තිබේ. කෙසේ වෙතත් එම සාකච්ඡා සම්පූර්ණ රහසිගතව සිදුවන ඒවා බවත් සඳහන් වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ඇරඹූ මොහොතේ සිට ඉන්දියාවේ රජයට අයත් සහ පෞද්ගලික අංශයේ පිරිපහදු මගින් රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 40කට වඩා වැඩි සංඛ්‍යාවක් මිලදී ගෙන ඇත.

මෙය 2021 වයරේදී ඉන්දියාව රුසියාවෙන් මිලදී ගත් බොරතෙල් ප්‍රමාණයට වඩා 20%කටත් වැඩි ප්‍රමාණයක් බව ඉන්දියානු වෙළෙඳ අමාත්‍ය දත්ත ගලපමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

Visits: 174