මාසයේ පළමු ගණුදෙනු දිනයේදීම ASPI පහළට

අද (මැයි 04) දිනයේදී එක්ස්පෝ ලංකා කොටස් වටිනාකම්හි සිදු වූ උච්ඡාවචනය සහ අඩු ආයෝජක සහභාගිත්වය නිසා සියලු කොටස් මිල දර්ශකය පහත වැටීමක් සිදු විය. මූලිකවම රට තුළ පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය සහ රුපියලේ අවප්‍රමාණයවීම ඊට හේතු වූ බව තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් එල්ඕඑල්සී හි කොටස් වටිනාකම් ඉහළ යෑම හේතුවෙන් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය යම් ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,494.09ත් ඒකක 7,681.86ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,598.04ක් බවට පත්විය. එය අවසන් ගනුදෙනු දිනය වූ (අප්‍රේල් 29) දිනයට සාපේක්ෂව ඒකක 26.22ක් එනම් -0.34%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+20.1), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+10.4), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+6.2), හැටන් නැෂනල් බැංකුව HNB (+5.7), සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී පීඑල්සී CFIN (+5.2), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-9.1), වැලිබල් වන් පීඑල්සී VONE (-5.6), ඩීඑෆ්සීසී බැංකුව DFCC (-5.4), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-4.5), ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී LLUB (-3.3) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 72ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 118ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,510.99ක අගයක් ගත් අතර, එය අප්‍රේල් 29 ‍ට සාපේක්ෂව ඒකක 1.75ක එනම් +0.07%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.06ක් ලෙස සටහන්ව තිබූ අතර, එය අප්‍රේල් 29 වාර්තා කළ රුපියල් බිලියන 2.49ට  සාපේක්ෂව 57.3% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.2ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 41.44%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 62.98ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 26.30ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 36.68කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.28 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  27.11කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 3.66ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 446ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 42%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 208ක සහ රුපියල් මිලියන 86ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 107