ලක්ෂ්මන් අබේසේකර සණස සංවර්ධන බැංකු සභාපති ධුරයෙන් ඉවත් වෙයි

සණස සංවර්ධන බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් අබේසේකර මහතා එම ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇතැයි එම බැංකුව පවසයි.

අද දිනයේදී එම බැංකුව මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් හරහා මේ බව දැනුම් දී තිබේ.

ලබන අප්‍රේල් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලක්ෂ්මන් අබේසේකර මහතා සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාමයාමට පියවර ගැනීමත් සමගින්ම මෙලෙස සභාපති ධුරයෙන්ද ඉවත් වන බව බැංකුව පවසයි.

මේ වසර වනවිට ඒ මහතා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්ව වසර නවයක් සම්පූර්ණවිමත්, මහ බැංකුව මගින් පනවා ඇති අංක 03 (2)(II)(A) දරණ බැංකු සාංගමික පාලන රෙගුලාසි යටතේ එම කාලය සම්පූර්ණ කළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු එම ධුරයෙන් ඉවත්විය යුතු බවට වන රීතියත් අනුව මෙම තීරණය ගෙන තිබේ.

2020 මැයි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සණස සංවර්ධන බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් කෙරිණි. මෙලෙස එම ධුරයෙන් ඉවත්වීම ප්‍රකාශයට පත් කෙරෙන 2022 අප්‍රේල් 22 වැනිදා වනවිට ඒ මහතා සතුව බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් එම බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 68