ශ්‍රී ලංකාවට යොමු වන IMF කොන්දේසි ගැන චීනය විමසිල්ලෙන් – චීන තානාපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගැනීමට නියමිතව ඇති ණය ප්‍රදානයට අදාළ එකඟතාවේ ඇති කොන්දේසි සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොන්ග් පවසයි.

අද දිනයේදී කොළඹ පිහිටි හෝටලයකදී මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමගින් පැවැත් වූ විවෘත සහ සුහද සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව පවසා තිබේ.

එසේම චීනය ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කිරීමට සූදානමින් සිටි එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක ණය ප්‍රදානය පමා වීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා වෙත යාමට ගත් තීරණය හේතු වූ බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

“ඉතාමත් කෙටි දැනුම්දීමකින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියා. එය මෙම සාකච්ඡා වෙත බලපෑවා.” තානාපතිවරයා පවසා ඇත.

සාකච්ඡා මට්ටමේ පැවැති එම මුදල් ප්‍රදානය යටතේ ඩොලර් බිලියනයක් චීනයෙන් ලබාගත් ණය පියවීමක් සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ අතර, ඉතිරි ඩොලර් බිලියන 1.5 අත්‍යවශ්‍ය භාණ්ෂ සැපයීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂය කුමක් වුවත්, චීනය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, එය ඉදිරියටත් එලෙසින්ම වන බවත් චීන තානාපතිවරයා පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ පළමුවරට සිය ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන සිය නොසතුට පළ කරන බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 154