එලෝන් මස්ක් ඩොලර් බිලියන 44කට Twitter මිලදී ගනී

ලොව  අංක එකේ ධනවතා ලෙස සැලකෙන Tesla සහ SpaceX සමාගම්හි හිමිකරු එලෝන් මස්ක් ලොව ජනප්‍රිය කෙටි පණිවුඩ හුවමාරු වැඩසටහනක් වන Twitter එක්සත් ජනපද ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේදී මෙම ගනුදෙනුවට අදාළ අවසන් එකඟතාවට පිවිසීම සිදුව තිබේ. මස්ක් සහ Twitter සමාගම් මෙම අලෙවිය සහ අත්පත් කරගැනීම පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇත. ඒ අනුව මෙතෙක් කලක් පොදු සමාගමක් ලෙස පැවැති Twitter Inc. සමාගම එලෝන් මස්ක්ගේ තනි හිමිකාරීත්වය යටතට පත්වනු ඇතැයි සඳහන් වෙයි.

මෙම මාසය ආරම්භයේදී මස්ක් Twitter Inc. සමාගමේ 9.2%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් අතර, ඒ සමගම ඔහු එහි විශාලතම තනි කොටස් හිමිකරුවා බවට පත්විය. අනතුරුව ඔහු Twitter Inc. මිලදී ගැනීම සඳහා වන ඩොලර් බිලියන 41ක ලංසුවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව Twitter Inc. සමාගම අනුමත කර ඇත්තේ මෙම ගනුදෙනු යෝජනාවයි. මෙහිදී ඔහුගේ මුල් ලංසුවට වඩා ඩොලර් බිලියන 3කට ගනුදෙනුව අවසන්ව තිබේ.

මෙලෙස Twitter Inc. මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එලෝන් මස්ක්, “ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමේ ප්‍රධානතම කාරණාව වන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්තාවයි. ඒ අනුව අනාගත මනුෂ්‍යත්වය එකිනෙකා සමගින් තර්ක සිදු කිරීමට යොදා ගන්නා වැදගත් ඩිජිටල් අවකාශයක් ලෙස සලකන්න පුළුවන්.” යනුවෙන් පවසා ඇත.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුවේදී මස්ක් විසින් Twitter Inc. කොටස් හිමිකරුවන්ට එහි එක් කොටසක් සඳහා ඩොලර් 54.20ක් බැගින් ලබාදී තිබෙන බව සඳහන් වෙයි. මාධ්‍ය පවසන ආකාරයට මෙහිදී මස්ක් විසින් කොටසක් සඳහා යෝජනා කර ඇති මුදල ඔහු සමාගමේ කොටස් 9%ක ප්‍රතිශතයක් මිලදී ගත් දිනයේදී පැවැති කොටසක වටිනාකම මෙන් 38%කට වඩා ඉහළ අගයකි.

මේ අතර එලෝන් මස්ක් Twitter Inc. මිලදී ගත් බවට වන ප්‍රවෘත්තිය ප්‍රසිද්ධියට පත්වීමත් සමගින්ම අද දිනයේදී නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි Twitter Inc. හි කොටසක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 51.70ක් දක්වා 5.66%කින් ඉහළ ගොස් තිබේ.

Visits: 140