බොරතෙල් බැරලයක මිල ඩොලර් 103කටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද දහවල් වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙරට වේලාවෙන් පස්වරු 1.00 පමණ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 102.9ක් ලෙස සටහන්ව තිබුණි. එය 3.58%ක පහළ බැසීමක් බව පැවසෙයි.

එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 98.41ක් ලෙස 3.59%කින් පහළ බැස තිබේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 12 වැනිදාට පසුව ලෝක වෙලෙඳ පොළේ බොරතෙල් මිල අවම අගයක් ගත් පළමු අවස්ථාව මෙය ලෙසටද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විශේෂයෙන්ම චීනයේ ෂැන්ග්හයි නුවර සහ බීජිං නුවරදී කොවිඩ්-19 ව්‍යාප්තියේ වර්ධනය හේතුවෙන් පනවා ඇති ලොක්ඩවුන් සීමා හා හදිසි පරීක්ෂා කිරීම් නිසා මතුව තිබෙන ඉල්ලුමේ පහත වැටීම සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් එරට ආර්ථිකය මන්දගාමී කරවීම සඳහා සිය පොළී අනුපාත පහත ලෙහළීමට තීරණය කිරීම යන කාරණා මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහත වැටීමට හේතුව වී තිබේ.

පසුගිය සතිය පුරාම මෙම ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහත වැටිමක් සිදු විය. එහිදී මූලිකවම යුරෝපා රටවල් රුසියානු ඉන්ධන මත යැපීමකින් තොරව තම රටවල ඉන්ධන නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට කටයුතු යෙදීම හේතුව වී තිබුණි.

පසුගිය සඳුදා (18දා) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 113ක් ලෙස සටහන්ව තිබූ අතර, සිකුරාදා දිනය වනවිට එය ඩොලර් 108ක් දක්වා පහත වැටුණි. ඒ අනුව සති අන්තයේදී එම අගය තවත් ඩොලර් පහකින් පමණ පහත වැටී තිබේ.

දැනට මාස දෙකකට පෙර පෙබරවාරි 24 වැනිදා රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇරඹීමත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 ඉක්මවීය.

Visits: 115