ගනුදෙනු ඇරඹී විනාඩි 31කින් කොළඹ කොටස් හුවමාරුව වසා දැමේ

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා වසා දැමීමට තීරණය කළ බව එහි බලධාරීන් පවසයි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව -12.64%කින් පසුබැසීම මේ සඳහා හේතුව වී තිබේ.

අද පෙරවරු 10.30ට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවීමත් සමගින්ම මෙම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2,438.58ක් දක්වා පහත වැටුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 185.32ක් එනම් -7.06%ක පසුබැසීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 5%කින් පසු බැසීමත් සමගින්ම අද පෙරවරු 10.31 සිට 11.01 දක්වා විනාඩි 30ක කාලයක් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීම සිදුවිය.

පසුව පෙරවරු 11.01ට එහි සාමාන්‍ය ගනුදෙනු යළි ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවේදී මෙලෙස එම දර්ශක අගය ඒකක 2,292.32ක් දක්වා ඒකක 331.85කින් එනම් 12.64%කින් පහළ බැසීම සිදු විය.

2020 අප්‍රේල් 30 වැනිදා කොළඹ කොටස් හුවමාරුව වෙත හඳුන්වාදුන් පරිපථ කණ්ඩන ක්‍රමවේදය අනුව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10%ක ප්‍රතිශතයකින් පහත වැටීමත් සමගින්ම දිනයේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමක් සිදු වෙයි.

මේ අතර අද දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුව වසා දමන අවස්ථාව වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,354.64ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 780.61ක් එනම් —9.60%ක පසු බැසීමකි.

දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත පිරිවැටුම ලෙස රුපියල් මිලියන 265ක් වාර්තා වී තිබුණි.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසුව යළිත් එහි ගනුදෙනු ආරම්භ කෙරුණේ අද (අප්‍රේල් 25) දිනයේදීය.

Visits: 154