ලොව විශාලතම වනජීවී හරස්මාරු මාර්ගයේ ඉදිකිරීම ඇරඹෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාහි සැන්ටා මොනිකා කඳුවැටිය අසල ලිබර්ටි කැන්යොන්හි පිහිටි අධිවේගී මාර්ගයක් ඉහළින් එතෙක් මෙතෙක් ඉදි කෙරෙන ලොව විශාලතම හරස්මාරු මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගිය අප්‍රේල් 22 වැනිදාට යෙදුණු ලෝක මිහිතල දිනයට සමගාමීව සිදු කෙරී තිබේ.

Wallis Annenberg Wildlife Crossing ලෙස හැඳින්වෙන වනජීවී හරස්මාරු කොරිඩෝව අඩි 210 ක දිගකින් යුක්ත අතර, අඩි 165ක පළලකින් යුක්ත වෙයි. මෙම හරිත පාලම මගින් එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන කඳුකර සිංහයන්, වෘකයන්, සර්පයන්, මුවන්, හාවන්,මැඩියන් ඇතුළු සතුන් රැසකටම කිසිදු අනතුරකින් තොරව එම අධිවේගී මාර්ගය ඔස්සේ දෙපස ඇති වනාන්තර ප්‍රදේශ වෙත හුවමාරුවීමේ අවස්ථාව උදා කර දෙනු ඇතැයි සඳහන් වෙයි.

මේ අතරින් කඳුකර සිංහයන් ලෙස හැඳින්වෙන සතුන් කැලිෆෝනියා ප්‍රාන්තයේ මත්ස්‍ය සහ වනජීවී දෙපාර්තමේන්තුව මගින් විශේෂයෙන්ම ආරක්ෂාවට ලක් කෙරුණු විශේෂයක් ලෙස නම් කර තිබේ. 2002 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලොස් ඇන්ජලීස්හි අධිවේගී මාර්ග මත දී මෙම කඳුකර සිංහයන් 25 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

මෙලෙස ඉදිවෙන Wallis Annenberg Wildlife Crossing හරස්මාරුව 2025 වසර ආරම්භයේදී ඉදිකර අවසන් කිරීම සැලසුම වී තිබේ. මෙහිදී අදාළ ව්‍යාපෘතියේ වියදම වන ඩොලර් මිලියන 90කට ආසන්න මුදලින් 60%ක ප්‍රතිශතයක් ලබා දී  ඇත්තේ Annenberg නම් පදනමයි. ඒ අනුව ඊට එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ නම ලබා දී තිබේ.

සාමාන්‍යයෙන් දිනකට මෙම අධිවේගී මාර්ගය හරහා රථවාහන ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගමන් කරන බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම වනජීවී හරස්මාරු මාර්ගය හේතුවෙන් මෙම මෝටර් රථ ධාවනය කරන ජනතාවගේ ජීවිතද ආරක්ෂා වන බව කැලිෆෝනියාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Visits: 132