සංචාරක කර්මාන්තය සංවර්ධනයට යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 60ක ප්‍රදාන

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ යුරෝපා සංගමයේ (EU) මෙරට නියෝජිත කණ්ඩායම එක්ව සුළු පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් මූලික ප්‍රදානයන් 3 සිදු කරන ලදී.

විශේෂයෙන් සංචාරකයින් නැවත මෙරටට පැමිණීම ආරම්භ කරන විට COVID තත්වයෙන් ආරක්ෂිත පරිසරයක් තුළ තමන්ගේ ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා ගැනීමට උපකාර කිරීම එම ප්‍රදානයන්ගේ අරමුණයි.

යුරෝපා සංගමයේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිරි මාස 2ක කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 60ක් වෙත මෙම ප්‍රදානයන් ලබා දීමට නියමිතය. ඒ අනුව මෙම ප්‍රදානයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 60කි.

COVID-19 වසංගත තත්වයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය රුසියාවේ යුක්ක්‍රේන ආක්‍රමණය හා රට තුළ පවතින අර්බුධකාරී තත්වය හේතුවෙන් ඉමහත් දුෂ්කරතාවයකට පත්ව ඇත. එසේම අරමුදල් නොමැති වීම මත බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටද පසුබට වී ඇත.

එවන් තත්වයක් තුළ ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර නැවත ආරම්භ කිරීමත්, ඒ තුළින් සංචාරක ව්‍යාපාරය තුළ සිදුවන වර්ධනයේ වාසිය තමන්ගේ ව්‍යාපාර වෙත ලබා ගැනීමත් මෙන්ම දුෂ්කරතාවයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීමත් වෙනුවෙන් මෙම ප්‍රදානයන් සුවිසල් ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා පළමු ප්‍රදානය සිදු කිරීමේ අවස්ථාවට එක් වෙමින් සඳහන් කර සිටියේ “ වසංගත තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායන් වෙත මූල්‍ය ප්‍රදානයන් ඇතුලු විවිධ ආකාරයේ සහයෝගය අත්‍යාවශයයි. විශේෂයෙන් රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක තත්වය හා රුසියානු යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දේශීය සංචාරක ව්‍යාපාරය තව දුරටත් අර්බුධයකට ලක් වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර කෙටි කාලයක් තුළ යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙන්ම ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැගීම වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කරනවා. එම වැඩපිළිවෙල සඳහා තිරසාර හා ආරක්ෂිත කර්මාන්තයක් ගොඩනැගීම සඳහා වඩාත් ශක්තිමත්, තිරසාර සහ ආරක්ෂිත බවින් පිරි කර්මාන්තයක් බිහි කිරීමට උපකාර කිරීම සඳහා අරමුදල් සැපයීම, ව්‍යාපාර ලියාපදිංචි තක්සේරු කිරීම මෙන්ම සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කිරීම මේ තුළින් සිදු වනවා.” යනුවෙනි.

මෙම පළමු අරමුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය “ මිනිසුන් 550,000 කට අධික පිරිසක් ඍජු හා වක්‍ර ආකාරයෙන් සංචාරක කර්මාන්තය තුළ නියැලී සිටිනවා. ඉන් බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලෙස පෙන්වා දිය හැකි අතර එහි ඉන් යැපෙන ප්‍රමාණය මිලියන 3කට අධිකයි. වසංගත තත්වය ආරම්භ වූ මොහොතේ සිටම සංචාරක කර්මාන්තය මුහුණ දෙන අභියෝග අවම කිරීම සඳහා අපි ක්‍රියාකාරීව කටයුතු කළා. මේ සඳහා යුරෝපා සංගමයේ සහයෝගීත්වය අප වෙත ලැබුණ අතර ඔවුන් කර්මාන්තයේ ශක්තිමත් බව ඉහළ නැංවීම තුළින් ඔවුන්ට නවමු අත්දැකීමක් ලබා දීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට පුළුල් වැඩපිළිවෙලක් හරහා අපට සහයෝගය ලබා දෙනවා” යනුවෙන් සඳහන් කර සිටියාය.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහිදුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් 280 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර එම අයදුම්පත් හා ව්‍යාපාර සම්බන්ධයෙන් පුළුල් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මෙහිදී ක්‍රියාත්මක විය. එහිදී ප්‍රදානයන් අවශ්‍ය කරන ව්‍යවසායයන් තෝරා ගැනීම සඳහා ව්‍යාපාරයේ ප්‍රමාණය, සේවක සංඛ්‍යාව සහ ඔවුන්ගේ ව්‍යාපාර යලි නඟා සිටුවීමේ හා කාර්ය මණ්ඩලය එක් කර ගැනීමේ සැලසුම් ඇතුළු නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරන ලදී. එසේම තිරසාරත්වය වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කැපවීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්වීම විශේෂත්වයකි.

COVID-19 වසංගතයට පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් යුරෝපා සංගමය මඟින් සිදු කරනු ලබන යූරෝ මිලියන 5.7ක (රුපියල් බිලියන 1.3) ආයෝජනයක් තුළින් සහයෝගය සළසනු ලබයි. යුරෝපා සංගමයේ උපකාරක සහාය යටතේ ලබා දෙනු ලබන ප්‍රදානයක් වන මෙය ශ්‍රම බලකාය සහ ව්‍යවසාය හැකියාවන් ඉහළ නැංවීම, ගිලිහී ගිය හැකියාවන් රඳවා තබා ගැනීම, කුසලතා ඉහළ නැංවීම මෙන්ම දැනට රට තුළ පවතින හා නව්‍ය සංචාරක ගමනාන්තයක් වෙනුවෙන් වන ආරම්භක සංස්කෘතියක් පෝෂණය කිරීම ප්‍රමුඛ කර ගනිමින් පිරිනමනු ලබයි.

Visits: 61