“ශ්‍රී ලංකාවේ බලධාරීන් හා සමීපව කටයුතු කරමින් අර්බුදය විසඳීමට සහාය දෙනවා” – IMF කියයි

ශ්‍රි ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා වන උත්සාහයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමගින් සමීපව කටයුතු කරමින් සහාය ලබාදීමක් සිදු කරන බව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර පසුගියදා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරදී පැවැත් වුණු සාකච්ඡා සම්බන්ධයෙන් IMF කණ්ඩායම ඊයේ (23දා) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මගින් ඉදිරිපත් කරන ඔවුන්ගේ ආර්ථික වැඩසටහන මෙන්ම මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා කාලීන යෝජනා ගෙන එන අනෙකුත් පාර්ශ්වකරුවන් සමගින්ද සමීපව සම්බන්ධවී කටයුතු කිරීමට එම අරමුදල පියවර ගන්නා බවත් මෙහිදී පවසා සිටියි.

“වොෂිංටන් නුවරදී පැවැත්වුණු 2022 වසර සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසන්ත හමුවේදී (2022 IMF and World Bank Spring Meetings)‍, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ IMF කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ට සාමාජිකයන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිතයන් හමුවුණා. එහිදී ඔවුන් ආර්ථික අභියෝග සඳහා විසඳුම් ලෙස සිදු තරන ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළා.^ යනුවෙන් එහි සඳහන්ව තිබේ.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැමිණි ශ්‍රී ලංකා නියෝජිතයන්, ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී මසාහිරෝ නොසාකි සමගින් IMF-සහාය දක්වන වැඩසටහන් සම්බන්ධයෙන් වන මූලික තාක්ෂණික සාකච්ඡා සිදු කර තිබේ.

“අප්‍රේල් 18-22 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම අතර වඩාත් ප්‍රතිඵලදායක තාක්ෂණික සාකච්ඡා පැවැත්වුණා.  එහිදී මෙම සාකච්ඡා මගින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ මූල්‍යමය සංවර්ධනයන් පිළිබඳ ආවරණය කෙරුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සාර්වආර්ථික ස්ථායිතාව යළි ඇති කිරීම සඳහා අවශ්‍ය වන වගවීම සහ පැහැදිලි ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවශ්‍යතාව සහ මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් දරුණු බලපෑමට ලක්වන දුප්පත් සහ අනතුරට භාජනයවීමේ අවදානමක සිටින ජනතාව සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.” යනුවෙන් පවසයි.

එසේම දැනටමත් ශ්‍රී ලංකාව වෙත ණය ලබා දී තිබෙන පාර්ශ්වයන් සමගින් එම ණය ආපසු ගෙවීමේ සැලසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සාකච්ඡා කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රසාදය පළ කරන බවත් මෙහිදී සඳහන් කර තිබේ.

“මෙහි තවදුරටත් ඉදිරියට යමින්, ශ්‍රි ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා වන උත්සාහයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමගින් සමීපව කටයුතු කරමින් සහාය ලබාදීමක් සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව මගින් ඉදිරිපත් කරන ඔවුන්ගේ ආර්ථික වැඩසටහන සමගින් මෙන්ම මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා කාලීන යෝජනා ගෙන එන අනෙකුත් පාර්ශ්වකරුවන් සමගින්ද සමීපව සම්බන්ධවී කටයුතු කිරීමටද අරමුදල පියවර ගන්නවා.” යනුවෙන්ද මෙම නිවේදනයේ සඳහන්ව තිබේ.

Visits: 98