Fitch Ratings මෙරට රක්ෂණ සමාගම් 8ක් ඍණාත්මක නිරීක්ෂණයක් සහිත ලෙස වර්ග කරයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතයක් වන Fitch Ratings ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් අටක් සඳහා වන ජාතික රක්ෂක මූල්‍ය ශක්තිමත් බව (IFS – National Insurer Financial Strength) ඍණාත්මක නිරීක්ෂණයක් (RNW – Rating Watch Negative) සහිත ශ්‍රේණිගත කිරීමක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී, එච්එන්බී ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, සමූපකාර රක්ෂණ සමාගම සහ සණස සාමාන්‍ය රක්ෂණ සමාගම යන සමාගම් මෙලෙස Fitch Ratings හි ඍණාත්මක නිරීක්ෂණයක් යටතේ ශ්‍රේණිගත කෙරී ඇත.

විශේෂයෙන්ම මෙම රක්ෂණ සමාගම් සතු ණය සම්බන්ධයෙන් වන ආසන්න-කාලීන පසුබැසීම හේතුවක් කරගනිමින් මෙලෙස එම වර්ගීකරණය ලබාදී තිබේ. ඊට අමතරව ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම්, නියාමන ප්‍රාග්ධන මට්ටමේ පවතින පීඩනය මෙන්ම දුර්වල මූල්‍යමය කාර්යසාධනය පිළිබඳ පෙරදැක්ම යනාදී කාරණාද ඊට හේතුව බව Fitch Ratings ආයතනය පවසයි.

“ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය සම්බන්ධයෙන් සහ මූල්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කෙරුණු ඍණාත්මක වර්ගීකරණ ක්‍රියාදාමයන් හේතුවෙන් දේශීය රක්ෂණ සමාගම් වෙත සිදු කරන ආයෝජන පහත වැටීමේ අවස්ථාවක් පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය විශ්වාස කරනවා. මෙම සමාගම්හි ආයෝජන කළඹ මූලික වන්නේ රජය මගින් නිකුත් කළ හෝ වගකීම ගන්නා ස්ථාවර-ආදායම් සුරැකුම්පත් හරහා, දේශීය බැංකු සතු තැන්පතු සහ නිකුත් කරන සුරැකුම්පත් හරහා සහ බැංකු නොවන මූල්‍ය ආයතන සහ සමාගම් හරහායි. ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව වර්ගීකරණය මේ වනවිට CC සිට C දක්වා පහත හෙළීමටත්, බැංකු සමාගම් 14ක්ද මෙලෙසින්ම ඍණාත්මක නිරීක්ෂණයක් (RWN) දක්වා පහත හෙළීමටත් කටයුතු කර තිබෙනවා.“ යනුවෙන් ෆිච් රේටින්ග්ස් සමාගම සඳහන් කරයි.

Visits: 385