IMF ගිය මුදල් ඇමති ඇතුළු නියෝජිතයන් ඉන්දියානු මුදල් ඇමතිනිය හා සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමගින් සිදු කරන සාකච්ඡා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්රි ඇතුළු කණ්ඩායම ඊයේ (18දා) ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉහළ මට්ටමේ ඉන්දියානු ආර්ථික නියෝජිතයන් පිරිසක් හමු වී සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති ඉන්දියානු මුදල් අමාත්‍යවරිය, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ශක්තිමත් කිරිම සඳහා ලබා දිය හැකි පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වන බව මුදල් ඇමති අලි සබ්‍රි වෙත පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබා ගැනීමට බලාපොරොත්තුවන විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා වන විශේෂ යෝජනාව සඳහා ලබා දිය හැකි සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉන්දියානු මුදල් අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  

මේ අතර IMF සඳහා ගිය මුදල් අමාත්‍යවරයා ඊයේ එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා හමුවූ බවද මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

ඉන්දියානු මුදල් ඇමතිවරිය ඇතුළු කණ්ඩායම ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කළ අවස්ථාව

මෙහිදී අදහස් දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය මඟහැරවීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් දැනටමත් ගෙන ඇති පියවර පිළිබඳව සිය ප්‍රශංසාව සඳහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාව වෙත ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව එම අරමුදල මෙහිදී සහතික වී ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී ශ්‍රී ලංකාව සඳහා කඩිනම් මූල්‍යමය ආධාරයක් (RFI – Rapid Financing Instrument) ලබා දෙන ලෙසද මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලිමක් ඉදිරිපත් කර ඇත. ඊට ප්‍රතිචාර දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මෙවැනි කඩිනම් මූල්‍යමය ආධාරයක් සඳහා ඉන්දියාවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත්ව තිබෙන බවත් පවසා තිබේ.

මුදල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායම සහ ඉන්දියානු ඉහළ මට්ටමෛ් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වී ඇත්තේ එහි අවස්ථාවක් ලෙසිනි.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවේ තවත් වට කිහිපයක්ම අද (19දා) පැවැත්විමට නියමිතව තිබේ. මෙම සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යවරයාට අමතරව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ද සහභාගි වී සිටියි.

Visits: 183