CSE හෙට (04දා) විවෘතයි – නැවත දැනුම් දෙනතුරු ගනුදෙනු පැය 02කට පමණයි

කොළඹ කොටස් හුවමාරුව (CSE) ගනුදෙනු සඳහා හෙට විවෘත කෙරෙන බව පවසයි. කෙසේ වෙතත් හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු එම ගනුදෙනු පැය 02ක කාලයකට සීමා කෙරෙන බවත් සඳහන් කරයි.

ඒ අනුව හෙට පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු කෙරෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා අද රාත්‍රියේදී සියලුම ගනුදෙනු සමාගම්හි ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එහිදී පෙරවරු 10.00 සිට 10.30 දක්වා කාලය පෙර ගනුදෙනු කාලය ලෙසත්, පෙරවරු 10.30ට ගනුදෙනු ආරම්භය ලෙසත් සඳහන්ව තිබේ. ඒ අනුව පෙරවරු 10.30ට ආරම්භ වන වෙළෙඳ පොළ ගනුදෙනු පස්වරු 12.30 වන විට අවසන් විය යුතුව ඇත.

දැනට රටෙහි පවතින තත්ත්වය සලකා බලා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කාලය මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දෙදින සඳහා පමණක් පැය 02කට සීමා කරන බව එහි බලධාරීන් පසුගිය මාර්තු 31 වැනිදා නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත් පවතින තත්ත්වයත් සමගින්ම හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස දිනකට පැය 2 ක කාලයක් සඳහා පමණක් කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබීමට තීරණය වී තිබේ.

මේ අතර අද දිනයේදී ලැබුණු තවත් තොරතුරකට අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සතියක කාලයකට නවත්වන ලෙස කොළඹ කොටස් හුවමාරුවහි තැරැව්කාර සමාගම් මගින් බලධාරින් වෙත ලිපියක් මගින් ඉල්ලීමක් සිදු කර ඇති බවත් සටහන්ව තිබුණි.

Visits: 294