එයාර් ඉන්දියා සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් වාර 13ක් දක්වා අඩු කරයි

ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් සමාගම මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සතියකට සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ලබන අප්‍රේල් 09 වැනිදා සිට ගමන්වාර 13ක් දක්වා අඩු කරන බව දැනුම් දී සිටියි.

මේ දක්වා එම සමාගම සතියකට ඉන්දියාව සහ  ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර 16ක් සිදු කර තිබේ. ලබන මැයි 31 වැනිදා දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වෙයි.

විශේෂයෙන්ම ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ගුවන් ගමන් සඳහා මතුව තිබෙන අඩු ඉල්ලුම මෙලෙස සිය ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට හේතුව බව එම සමාගම ඉන්දියානු මාධ්‍ය වෙත දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එයාර් ඉන්දියා ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු, “අපි අද වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 16ක් සිදු කරනවා. ඉන් දිනපතා සිදු කෙරෙන ගුවන් ගමන් වාර 07ක් දිල්ලි නුවර සිටත් – ගුවන් ගමන් වාර 09ක් චෙන්නායි නුවර සිටත් සිදු කෙරෙනවා.” යනුවෙන් පවසා ඇත.

ඒ අනුව මෙම නව කාලසටහනට අනුව ඉදිරියේදී දිල්ලි නුවර සිට සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 04ක් දක්වා අඩු කෙරෙනු ඇති බවත්, චෙන්නායි නුවර සිට සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව එලෙසින්ම පවතිනු ඇති බවත් ප්‍රකාශකවරයා පවසා ඇත.

මෙම තීරණයත් සමගින්ම අප්‍රේල් 08 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා සෑම සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා පමණක් දිල්ලි – කොළඹ ගුවන් ගමන් සිදු වෙන බවත්, අප්‍රේල් 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා සඳුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පමණක් කොළඹ – දිල්ලි ගුවන් ගමන් සිදුවන බවත් දැනුම් දී සිටියි.

ඉන්දියානු රජයට අයත්ව තිබූ එයාර් ඉන්දියා ගුවන් සමාගම මේ වනවිට එරට ටාටා සමාගම් සමූහයට අයත් ගුවන් සමාගමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

Visits: 90