ඕෂධ සේනානායක ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපතිවරයා ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පවසයි.

ඒ අනුව ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය එම ආයතනය අයත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇති බව සඳහන් වෙයි.

ඕෂධ සේනානායක මහතා තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයේ නියැලී සිටින ඒ පිළීබඳ අත්දැකීම් රැසක් සහිත වෘත්තිකයෙකු බව පැවසෙයි.

ඒ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ 2021 අගෝස්තු 05 වැනිදාය. ඒ වන විටත් ඒ මහතා එම නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

එවකට ICTA ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා සේනානායක මහතා පත් විය. ලලිත් ගමගේ මහතා SLIIT ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

මේ අතර ඕෂධ සේනානායක මහතා ICTA සභාපති ධුරයට පත්වනවිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන (TRCSL) කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද පත්ව සිටියේය. පසුව 2021 දෙසැම්බර් මාසයේදී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

මෙලෙස ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇති ඕෂධ සේනානායක මහතා, සිය ප්‍රතිපත්ති සහ විශ්වාසයන්ට අනුව තවදුරටත් සභාපති ධුරයේ කටයුතු කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වීම භාරදුන් බව පවසා ඇත.

Visits: 64