2021 දී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් බිලියන 20ක් ඉක්මවලා

මෙරට වෙත 2021 වසරේදී සිදු කළ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 20,637ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා රේගුවෙහි දත්ත උපුටා දක්වමින් 2022 ජනවාරි මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ඉතිහාසයේ වැඩිම ආනයන වියදම ලෙස 2021 දෙසැම්බර් මාසයේදී සටහන් වූ ඩොලර් බිලියන 2.24ක ආනයන වියදමත් සමගින්ම මෙලස 2021 ආනයන වියදම ඩොලර් බිලියන 20 ඉක්මවා ඇත.

ඒ අනුව මෙම වියදම 2020 වසරේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 16,055ට සාපේක්ෂව 28.5%ක වර්ධනයකි.

කෙසේ වෙතත් 2021 වසරේදී මෙරට තුළ වෙළෙඳ භාණ්ඩඅපනයන ආදායම සටහන්ව ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 12,499ක් ලෙසිනි. එහිදී එය 2020 වසරේදී වාර්තා කළ ඩොලර් මිලියන 10,047ට සාපේක්ෂව 24.4%ක වර්ධනයකි.

මෙම තත්ත්වයත් සමගින්ම 2021 වසරේදී මෙරට වෙළෙඳ ශේෂය තවදුරටත් පුළුල් වෙමින් ඩොලර් මිලියන 8,139ක් ලෙස සටහන්ව ඇත. 2020 වසරේදී එය ඩොලර් මිලියන 6,008ක් විය.

මෙලෙස 2021 වසරේ සිදු වූ ආනයන වියදමින් වැඩිම ප්‍රමාණය වැය වී ඇත්තේ අන්තර් භාණ්ඩ වෙනුවෙනි. එය ඩොලර් මිලියන 12,308.90 කි. එහිදී ඉන්ධන සඳහා පමණක් ඩොලර් මිලියන 3,742.90ක්වැය වී තිබේ. ඒ අනුව ඉන්ධන නොවන ආනයනවල වියදම ඩොලර් මිලියන16,894.40 කි.

Visits: 184