SLIIT හි 2022 මාර්තු උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි

මෙරට සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ  කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය.

සමූහ උපාධි ප්‍රදානෝත්සවයක් ලෙසින් මෙය දින හතරක් පුරා පැවති අතර, ගෞරවණීය ආරාධිතයන්ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගේ සහභාගීතවයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ඔවුන් එහිදී සිසුන් අමතා ඔවුන්ව දිරිගන්වමින් සහ උපදෙස් ලබාදෙමින් සිත් ගන්නාසුළු දේශන ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා රටේ ප්‍රසිද්ධියක් උසුලනු ලබන පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය. ඒ අනුව උත්සවයේ පළමු දිනය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස Sunshine Holdings PLC හි සමූහ කළමණාකාර අධ්‍යක්ෂ, විශ් ගෝවින්දසාමි සහ Jetwing Travels (Pvt) Ltd හි කළමණාකාර අධ්‍යක්ෂිකා ශිරෝමාල් කුරේ යන මහත්ම මහත්මීන් සහභාගී විය.

දෙවන දිනයේ Lanka Tiles PLC හි කළමණාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර සහ සෝවියට් සමාජවාදී ජනරජ සංගමයේ තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි  මහතා සහ 1990 සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා තෙවැනි දිනය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය.

උත්සවයේ අවසන් දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුදන්ත ලියනගේ හා Curtin විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සෙත් කුනින් සහ CIMA Global හි උප සභාපතිනි මෙලනි කනක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

උපාධි ප්‍රධානෝත්සවයේදී තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ ඒ හා සම්බන්ධ විශේෂතා, ව්‍යාපාර කළමනාකරණ උපාධි සහ ඒ හා සම්බන්ධ විශේෂතා, විද්‍යාවේදී ඉංජිනේරු උපාධි සහ අදාළ විශේෂතා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, තොරතුරු තාක්ෂණය සහ ඊට සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය,ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ MPhil යන විෂයධාරා වල උපාධි, අපේක්ෂකයන් වෙත පිරිනමන ලදී.

කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුන් සඳහා විශේෂ ඇගයීම් සංකේත ප්‍රධානය කෙරිණි. එම සිසුන් අතරින් සචිනි දිල්කා තෙන්නකෝන් සිසුවියගේ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් IFS රන් පදක්කම සහ දත්ත විද්‍යාවේ හොඳම දක්ෂතාවය වෙනුවෙන් වූ රන් පදක්කම ද, ව්‍යාපාර විශ්ලේෂණ අංශයේ හොඳම දක්ෂතාව සඳහා පැන්තියා දේවගේ නවෝද්‍යා මල්ෂානී සහ සිවිල් ඉංජීනේරු අංශයේ හොඳම දක්ෂතාවය වෙනුවෙන් මොහොමඩ් ෆුවාඩ් අහමඩ් යන සිසුන් රන් පදක්කම් හිමිකර ගත්හ. ඊට අමතරව තවත් කුසලතා ඇගයීම් සම්මාන 29 ක් සහ විශිෂ්ඨතම දක්ෂතා සම්මාන ද විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගනු ලැබූ සිසුන් සඳහා ප්‍රධානය කෙරිණි.

තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ධ ප්‍රසිද්ධ සමාගම් හා ආයතන කිහිපයක් වන 99X, IFS, Dialog Axiata PLC, LSEG Technology, Virtusa, Brandix, BOC, Maga Engineering (Pvt) Ltd, Codegen සහ Zillione විසින් උපාධි ප්‍රධානෝත්සවයේ සම්මාන කිහිපයක් සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන ලදී.

Visits: 49