ඉන්දියාවේ රාජ් සුබ්‍රමනියම් ඇමෙරිකාවේ FedEx සමාගමේ ප්‍රධාන විධායක ධුරයට

ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් දැවැන්ත බහුජාතික භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමක් වන FedEx Corp. හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවෙකු වන රාජ් සුබ්‍රමනියන් මහතා නම් කෙරී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ලොව මුල පෙළේ ඇමෙරිකානු සමාගම්හි විධායක ධුරයක් සඳහා තේරීපත් වුණු ආසන්නතම ඉන්දියානුවා බවටත් ඔහු පත්ව සිටියි.

මෙතෙක් කලක් FedEx සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ, FedEx නිර්මාතෘ ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව් ස්මිත් මහතා සිය ධුරවලින් ඉවත්වීමත් සමගින්ම ලබන ජූනි 01 වැනිදා සිට රාජ් සුබ්‍රමනියම් මහතා එම ධුරය සඳහා පත් කෙරෙනු ඇතැයි සඳහන් වෙයි.

ෆ්‍රෙඩ්රික් 1971 වසරේදී සිය සමාගම බිහි කළේය. ඒ අනුව ඉදිරියේදී ඔහු සමාගමේ විධායක සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.

රාජ් සුබ්‍රමනියන් මහතා 2020 වසරේදී FedEx සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වුණු අතර, ඉදිරියටත් ඔහුට එම අධ්‍යක්ෂ මණ්ඩල ආසනය හිමිවන බවත් සමාගම පවසා තිබේ.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති FedEx නිර්මාතෘ ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව් ස්මිත් මහතා, “මීළග උදාවන තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කළොත්, රාජ් සුබ්‍රමනියම් සතු නායකත්වය සම්බන්ධයෙන් මම ඉතාමත් හොඳින් සෑහීමකට පත්වෙනවා. ඔහු මේ සමාගම අනාගතයේදී වඩාත් සාර්ථකත්වයකට පත් කරාවි.” යනුවෙන් පවසා තිබේ.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනාන්තපුරම් ගම්මානයේදී උපත ලැබූ රාජ් සුබ්‍රමනියම් මහතා අද වනවිට FedEx ගෝලීය මූලස්ථානය පිහිටි එක්සත් ජනපදයේ ටෙනිසීස් ප්‍රාන්තයේ මෙම්පිස් නගරයේ වාසය කරයි.

56 හැවිරිදි ඔහු රසායනික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. 1991 වසරේදී FedEx සමාගම සමගින් සම්බන්ධ වන ඔහු මේ දක්වා එහි සභාපතිවරයා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. මීට අමතරව ඔහු එම සමාගමේ විධායක උප සභාපති සහ ප්‍රධාන අලෙවි සහ සන්නිවේදන නිලධාරියා ලෙසින්ද කටයුතු කර ඇත.

මෙලෙස FedEx Corp. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්විමට පෙරාතුව රාජ් සුබ්‍රමනියන් මහතා FedEx Express හි සභාපතිවරයා සහ ප්‍රධාන විධායකනිලධාරියා ලෙසද කටයුතු කළේය.

Visits: 151