කොළඹ කොටස් හුවමාරුව අදත් පසුබසී – ගනුදෙනු පස්වරු 1.40 දක්වා අත්හිටුවෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අද පස්වරු 1.10 සිට විනාඩි 30 කට අත්හිටුවීමක් සිදු වන බව එහි බලධාරීන් පවසයි. අද දිනයේදී ගනුදෙනු අතරතුරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 (S%PSL20) දර්ශකයේ අගය පෙර දිනයට සාපේක්ෂව -5% කින් පසුබැසීම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව වෙළෙඳ පොළ ගනුදෙනු නැවත ආරම්භ කිරිම අද පස්වරු 1.40ට සිදු වන බවත් කොළඹ කොටස් හුවමාරුව දැනුම් දෙයි.

ඊයේ දිනයේදී මෙන් අද දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දරුණු කඩාවැටීමක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන්ම මෙලෙස ගනුදෙනු අත්හිටුවන අවස්ථාව වනවිට (පස්වරු 1.10) සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක -468.29 කින් එනම් -4.62%කින් පසු බැස ඒකක 9,674.00ක් ලෙස සටහන්ව තිබුණි.

එසේම  ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයත් පෙර දිනයට සාපේක්ෂව ඒකක -170.62කින් පසුබසිමින් මෙලෙස පෙර දිනයට සාපේක්ෂව -4.87% ක අගයකට පත්ව තිබුණි. ඒ අනුව මෙම අවස්ථාව වනවිට එම දර්ශක අගය ඒකක 3,334.53ක් විය.

දිනයේ මේ දක්වා සිදු වූ ගනුදෙනු තුළින් රුපියල් බිලියන 2.0ක පිරිවැටුමක් වාර්තා කර තිබුණි.

Visits: 214