2022 පෙබරවාරියේදී මෙරට අපනයන ආදායම 9.91%කින් ඉහළට

මෙරට භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,046ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව මෙය 2021 පෙබරවාරි මාසයේදී මෙරට භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 951.70ට සාපේක්ෂව 9.91% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම එය 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 5.8% ක වැඩිවීමකි.

මෙම කාර්ය සාධනය සම්බන්යෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, “ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය පසුගිය වසරට සාපේක්ෂව 2022 පෙබරවාරි මාසයේදී 9.91% සිට US$ බිලියන 1.05 දක්වා ඉහළ යාමක් වාර්තා කරමින් මෙම වසර ආරම්භයේ සිට ඩොලර් බිලියන 1 සීමාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. මෙය පසුගිය වසරේ සිට අඛණ්ඩ ඩොලර් බිලියන 1 ඉක්මවූ නවවන මාසයද විය. එම ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසයි.

මෙහිදී වැඩිම අපනයන ආදායමක් හිමි කරගෙන ඇති ක්ෂේත්‍රය වන්නේ ඇගලුම් අංශයයි. එය ඩොලර් මිලියන 494.83කි. එසේම තේ අපනයනය හරහා ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 100.86කි. එය පෙර වසරේ පෙබරවාරියේදී හිමි කරගත් ඩොලර් මිලියන 112.53ට සාපේක්ෂව -10.37%ක අඩුවීමකි. මීට අමතරව රබර් පාදක නිෂ්පාදන සහ පොල් පාදක නිෂ්පාදන පිළිවෙලින් ඩොලර් මිලියන 93.18ක් සහ 67.92ක් උපයා ගෙන තිබේ.

මේ අතර 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මුල් මාස දෙකේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 2,108.65ක් ලෙස වාර්තා කර තිබේ. එය 2021 වසරේ එම කාලසීමාවේදී උපයා ගත් අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,888.40ට සාපේක්ෂව 11.66%ක වර්ධනයකි.

මීට අමතරව 2022 පෙබරවාරි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 290 ක් වූ අතර එය 2021 ජනවාරි මාසයේ වාර්තා කළ වඩා 31.66% කින් වැඩි වීමකි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් වලින් සමන්විත වේ.

Visits: 145