මුදල් මණ්ඩල අනුමැතිය හිමිවූ ‘කොළඹ වරාය නගරය සඳහාම වෙන්වූ යාන්ත්‍රණය’ පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගරය තුළ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහාම වෙන් වූ යාන්ත්‍රණයක් හඳුන්වාදීම වෙනුවෙන්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලැබුණු අනුමැතියට අදාළ නියෝග පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

අද (29දා) දිනයේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අනාවරණය කෙරිණි.

මෙහිදී 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි විදේශ විනිමය පනත ඇතුළුව දැනට මෙරට තුළ ක්‍රියාත්මක වන නීතිවලින් කොළඹ වරාය නගරයේ ආයෝජන නිදහස් කිරීම හෝ දිරිගැන්වීම නිශ්චය කොට ප්‍රදානය කිරිම සඳහා විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි අවශ්‍ය රෙගුලාසි හා විධාන නිකුත් කරන ලෙස එම කොමිෂන් සභාව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

විශේෂයෙන්ම මෙම පනත යටතේ එම කොමිෂන් සභාව වෙත මෙම බලතල හිමිවී ඇති නමුත්, එම කොමිෂන් සභාව විසින් අවශ්‍ය රීති සහ නියෝග නිකුත් කරන / ප්‍රකාශයට පත් කරනු ලබන තෙක් වරාය නගරය වෙත හිමිවන ආයෝජන සඳහා පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය හඳුන්වාදීමට අනුමැතිය ලබා දෙන ලෙස එම කොමිෂන් සභාවේ ඉල්ලිම විය.

ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 (1) හි විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරිමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Visits: 178