නවතම දේශීය ටයිල් නිෂ්පාදනයක් සඳහා වෙළෙඳ නාමයක් නිර්මාණයට අවස්ථාවක්

පුවක්අරඹ සමාගම් සමූහය යටතේ පවතින TPS Ceramic Industries (පෞද්) සමාගම මගින් නුදුරේදීම වෙළෙඳ පොළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන, නවතම දේශීය ටයිල් නිෂ්පාදනයක් සඳහා වෙළෙඳ නාමයක් (Brand) නිර්මාණය කරන ලෙස සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටියි.

TPS Ceramic Industries (පෞද්) සමාගමේ මෙම ටයිල් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් දැනටමත් සිදු කෙරෙමින් පවතින අතර, මෙම වසර අවසානයේදී එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව පුවක්අරඹ සමාගම් සමූහය සඳහන් කරයි.

එහිදී මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළ වෙත නිකුත් කරන අවස්ථාවේදී මෙම නව වෙළෙඳ නාමය ඊට යොදා ගැනිම සමාගමේ අරමුණ වී තිබේ.

ඒ අනුව මෙහිදී සිය දේශීය නිෂ්පාදනය සඳහා සුවිශේෂි වෙළෙඳ නාමයක් සහ ඊටම ගැළපෙන උද්‍යෝගපාඨයක්ද (Slogan) නිර්මාණය කරන ලෙස පුවක්අරඹ සමාගම් සමූහය මෙලෙස ආරාධනා කර සිටියි.

මෙම නිර්මාණ ඉදිරිපත් කිරීමේදී වෙළෙඳ නාමය සහ උද්‍යෝගපාඨය ලෙස එකිනෙකට වෙනස් ආකාරයෙන් නිර්මාණ සිදු කිරීමේ හැකියාව ඇත. එහිදී එක් අයෙකුට ඕනෑම නිර්මාණාත්මක අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබා දී තිබේ. එසේම එක් නිර්මාණකරුවෙකු වෙළෙඳ නාමය සහ උද්‍යෝගපාඨය යන කාණ්ඩ දෙකම ඉදිරිපත් කිරිමද අනිවාර්යය නැත.

මෙම සියලුම නිර්මාණ ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර shakilapeiris1987@gmail.com යන ඊ-මේල් ලිපිනයට එවිය යුතුය.

එහිදී මේ සෑම ඊ-මේල් පණිවුඩයකම අදාළ කාරණාව ලෙස “Puwakaramba Tiles Brand Name/Slogan” ලෙස සටහන්ව තිබිය යුතු බවත් සමාගම සඳහන් කරයි. එසේම නිර්මාණකරුවන්ගේ නම සහ සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක්ද එහි සටහන් කරන ලෙසත් සමාගම ඉල්ලා සිටියි.

මෙහිදී ඉදිරිපත් කෙරෙන නිර්මාණ අතරින් හොඳම වෙළෙඳ නාමය සහ උද්‍යෝගපාඨය තෝරා ගැනීම පුවක්අරඹ සමාගම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කෙරේ. සමාගමේ ෆේස්බුක් පිටුව හරහා ජයග්‍රාහකයන් නිවේදනය කිරීමටද සැලසුම් කර තිබේ.

මෙලෙස එම කාණ්ඩ දෙක යටතේ ජයග්‍රහණය ලබන හොඳම වෙළෙඳ නාමය සඳහා රුපියල් 25,000ක ත්‍යාගයක්ද, හොඳම උද්‍යෝගපාඨය සඳහා රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක්ද පිරිනමන බව සමාගම පවසයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන පුවක්අරඹ සමාගම් සමූහයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ලක්සිරි පීරිස් මහතා, “දේශීය සමාගමක් ලෙස විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කරගැනීමේ අරමුණින් තමයි අපි මේ ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාව පිහිටුවීමට කල්පනා කළේ. ඒ අනුව ඒ කර්මාන්තශාලාව යටතේ සිදු කරන නිෂ්පාදන සඳහා දේශීය නිර්මාණකරුවන්ගෙන් ඉදිරිපත් වන වෙළෙඳ නාමයක් සහ උද්‍යෝගපාඨයක් යොදා ගන්නත් අපි මෙතැනදී තීරණය කළා.” යනුවෙන් සඳහන් කරයි.

මෙම නිර්මාණ ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු 0773 404885 හෝ 076 7757273 යන දුරකතන අංක හරහා දැන ගැනීමේ අවස්ථාව ඇත.

Visits: 318