CL Synergy මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳ ආයෝජක සමුළුව අද (24දා)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වේගයෙන්ම දියුණු වන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමක් ලෙස සැලකෙන CL Synergy Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳව දැනුවත් කරන ආයෝජක හමුවක් අද (24දා) පැවැත්වෙන බව එම සමාගම පවසයි.

අද පස්වරු 4.00ට අන්තර්ජාල Zoom වැඩසටහන ඔස්සේ (Virtual) ආයෝජක සමුළුවක් ලෙස මෙය පැවැත්වෙයි. එහිදී මෙම මූලික කොටස් නිකුතුව සඳහා උනන්දුවක් දක්වන පිරිස් වෙත ඊට සහභාගී වන ලෙස CL Synergy සමාගම ආරාධනා කර සිටී.

https://zoom.us/…/tJUod-qqqT4rG9HbpRv2laNCpC9vX-50gUMN යන වෙබ් ලිපිනය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකිය.

CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව ලබන අප්‍රේල් 07 වන දින විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ අනුව දායකත්වය සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 63 ක්ද, අලෙවිය සඳහා දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 28.5 ක්ද නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කර තිබේ. මෙහිදී කොටසක් රු. 14.00 බැගින් මිල කෙරී ඇතැයි සමාගම පවසයි.

ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී නිකුත් කෙරෙන මුළු කොටස් සංඛ්‍යාව 91,500,000 ක් වන අතර, ඉන් අපේක්ෂිත ආදායම රු. 1,281,000,000 කි. Acuity Partners (පුද්.) සමාගම මගින් මෙම නිකුතුව කළමනාකරණය කරනු ලබයි.

මෙම මූලික කොටස් නිකුතුවෙන් අනතුරුව අද වනවිට විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් වන කාර්ය සම්පාදන ක්ෂේත්‍රය නියෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වීම CL Synergy සමාගමේ අපේක්ෂාව වී තිබේ. 

CL Synergy සමාගම පවසන ආකාරයට එහි ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාදායකයන්ගෙනි. මෙය සමාගමේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් බවට පත් වී තිබේ. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් සැලකිය යුතු මට්ටමේ මුදල් හා වෙනත් සම්පත් එකතුවක් සමාගම සතු වන නිසා, මෑතකාලීනව රුපියලේ අගය අවප්‍රමාණය වීම මගින්ද සමාගමට ඉදිරියේදී ප්‍රතිලාභ හිමි වනු ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් රැස්කරගන්නා අරමුදල් මගින් CL Synergy සමාගමේ කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළ වල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ  CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා පවසයි.

CL Synergy මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම් පත්‍රය https://ipo.clsynergy.com/ ඔස්සේ ලබාගත හැකි වේ.

Visits: 260