සමාගම් තුනක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගවීමෙන් ඉවතට

ලැයිස්තුගත සමාගම් තුනක් එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. එහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු ලිපියක් මගින් මේ තීරණය දැනුම් දී තිබේ.

ඒ අනුව ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ම් පීඑල්සී (AINV), ඇඩම් කැපිටල් පීඑල්සී (PCHH) සහ සිලෝන් ඇන්ඩ් ෆොරින් ට්‍රේඩර්ස් පීඑල්සී (CFT) යන සමාගම් මෙලෙස ලැයිස්තුගතවීමෙන් ඉවත් කර තිබේ.

අද (2022 මාර්තු 23දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් කිරිම බලාත්මක බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙහිදී 2001 වසරේ දෙසැම්බර් 18 වැනිදා නිකුත් කරන ලද අංක 1215/2 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ වගන්ති 53 යටතේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාම මගින් ඉදිරිපත් කර ඇති රීති අංක 4 (2) අනුකූලව මෙම ලැයිස්තුගත කිරීම අහෝසි කෙරුණු බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවිය කොළඹකොටස් හුවමාරුවෙහි සිදුකළ විමසීමකට පිළිතුරු දුන් එහි නිලධාරිනියක්, අදාළ සමාගම් තුනම 2018 වසරේ සිට සිය ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම මෙලෙස ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරිමට හේතුව වූ බව පවසා සිටියාය.

එසේම පසුගිය වසරේදී එම සමාගම් තුනම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමෙන් ඉවත් කරන ලෙස ඉල්ලිම් සිදු කර තිබුණි.

මේ අතර ඉහත සඳහන් කළ සමාගම් තුන ලැයිස්තුගතවීමෙන් ඉවත් වීම හරහා එහි කොටස් හිමිකරුවන් වෙත එල්ලවන බලපෑම සම්බන්ධයෙන් අප සිදුකළ විමසිමකට පිළිතුරු දුන් කොළඹ කොටස් හුවමාරුවෙහි අලෙවිකරණ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා, එම සමාගම් තුන ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීම සහ ඒවායේ කොටස් හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්ව කිසිදු ගැටලුවක් මතුව නොමැති බවත් සඳහන් කළේය.

Visits: 463