බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධුරයට

වටවල කිරි නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) නව සභාපතිවරයා ලෙස තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත් විය.

රිච්ලයිෆ් ඩේරි ප‍්‍රයිවට් ලිමිටඩ් ප‍්‍රධාන විධායක නිලධාරී හා වසර හතරක් පුරා එම සංගමයේ ආරම්භක සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතාගෙන් පසුව හිස්වන එම ධූරයේ පනන්වල මහතා කටයුතු කරනු ඇත. පනන්වල මහතා එම සංගමයේ උප සභාපතිවරයා ලෙස මීට පෙර සේවය කළේය.

වතුකරයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති පනන්වල මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ අභ්‍යාසලාභී සහකාර අධිකාරීවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. පසුව ඔහු පසුගිය දශක තුනක කාලයක සිට වටවල ප්ලාන්ටේෂන් සමඟ සම්බන්ධ වී වත්මන් ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර දක්වා සිය වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තටම පැමිණියේය.

ඔහු ලංකා සේව්‍ය සංගමයේ වැවිලි සේවා සමූහයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. පනන්වල මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෝග විද්‍යාව පිළිබඳ MSc උපාධියක් සහ මනිපාල් (Sikkim) විශ්වවිද්යාලයෙන් MBA උපාධියක් ද ලබා ඇත. ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් සහ සිංගප්පූරුවේ නිර්මාණශීලී නායකත්වය සඳහා වූ මධ්‍යස්ථානයෙන් උසස් කළමනාකරණ පුහුණුවක් ලබා ඇත. 

නව සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව පැවති මහා සභා රැස්වීම අමතමින්, පනන්වල මහතා විශේෂයෙන්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක කිරි කර්මාන්තයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ හිටපු සභාපතිවරයාට සහ හිටපු කමිටු සාමාජිකයින්ට ස්තුතිය පුද කළේය. සාමාජිකත්වය, අනුබද්ධ සංගම් සහ රාජ්‍ය අංශයට වැදගත් වන ප‍්‍රධාන කරුණු වෙනුවෙන් අවධානය යොමු කිරීමට සහ බලපෑම් කිරීමට AIDA හි අඛණ්ඩ උත්සාහයන් ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.

“AIDA ලෙස අපි දේශීය කිරි නිෂ්පාදන අංශයේ ප‍්‍රගතිය පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලී රාජ්‍ය-පෞද්ගලික සංවාදයක් දිගටම පවත්වාගෙන යමින් සිටිනවා. නව සාමාන්‍යයට අනුවර්තනය වෙමින් AIDA වසංගතයෙන් ඇති කළ අභියෝග හා සීමා කිරීම්වලට නොසැලී කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබුවා. අප webinars සහ online වේදිකා ඔස්සේ ප‍්‍රතිපත්ති සම්බන්ධ දැනුම හුවමාරු කිරීමේ අදාළ පුළුල් ක‍්‍රියාකාරකම් පරාසයක් සාර්ථකව ක‍්‍රියාත්මක කළා. පුද්ගලික අංශය සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමට අපි දිගටම පහසුකම් සපයනු ලබන අතර කිරි අංශයේ සංවර්ධනය පිළිබඳ කරුණු සම්බන්ධයෙන් රජය සමඟ ප‍්‍රතිපත්තිමය සංවාදයක් පවත්වා ගෙන යනවා.” යනුවෙන් බිනේෂ් පනන්වල මහතා සිය සමාරම්භක දේශනය අතරතුර පැවසුවේය.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය කිරි කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරයි. සම්මුතියට පහසුකම් සැලසීම, අරමුණු විධිමත් කිරීම සහ තාක්ෂණය සවිබල ගැන්වීම සහ ප‍්‍රධාන කරුණු සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයින් සමඟ බලපෑම් කිරීම එහි අරමුණයි. AIDA කිරි නිෂ්පාදකයින්ගෙන් සහ සේවා සපයන්නන්ගෙන් සමන්විත වන අතර ඉහළ කර්මාන්ත ප‍්‍රමිතීන්ට අනුකූල වීම ප‍්‍රවර්ධනය කරන අතර නිෂ්පාදන සහ සේවා පිරිනැමීම් වැඩිදියුණු කිරීමට සහ සමස්තයක් ලෙස කර්මාන්තයට ප‍්‍රතිලාභ ලබා දීමට සෞඛ්‍ය සම්පන්න තරඟකාරිත්වයක් ඇති කරයි.

2022 වර්ෂය සඳහා අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය බිනේෂ් පනන්වල (සභාපති), ආචාර්ය ශක්තිවේල් (උප සභාපති – නිෂ්පාදකයින් සහ එකතුකරන්නන්), ටෑන් බෙන්ග් චුආන් (උප සභාපති – සේවා සපයන්නන්), රේණුක පෙරේරා (උප සභාපති – නිෂ්පාදකයින් සහ සැකසුම්කරුවන්), සහ ආර්.එම්.කේ.ජී රාජපක්ෂ (භාණ්ඩාගාරික) යන මහත්වරුන්ගෙන් සමන්විත වේ. 2022 විධායක කමිටු සාමාජිකයින් වන්නේ නිශාන්ත ජයසූරිය, ආචාර්ය නෙළුම් විතාන, මොහොමඩ් ඉමිටියාස්, දමිත මාපා, අරුණ වර්ණසූරිය සහ ඒ.සී.එච්. මුණවීර යන මහත්ම මහත්මීන්ය.

Visits: 103