RESUS Energy PLC හි රු. මිලියන 750ක ණයකර නිකුතුවට CSE අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RESUS Energy PLC සමාගම (HPWR.N0000) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිමට ඉල්ලුම් කර තිබූ රුපියල් මිලියන 750ක් වටිනා ණයකර කොටස් නිකුතුවට අනුමැතිය හිමිව ඇතැයි පවසයි. ඒ අනුව ලබන මාර්තු 25 වැනිදා මෙම ණයකර නිකුතුව විවෘත කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවා ගත හැකි ණයකරයක් ලෙස මෙම නිකුතුව සිදු කෙරෙන බව සමාගම පවසයි. එහිදී කල් පිරීමේ කාලය අනුව වසර තුනක් (2022/25) සහ වසර පහක් (2022/2027) ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම ණයර නිකුතුව සිදු කෙරෙන බව සඳහන් වෙයි.

ඒ අනුව මූලික නිකුතුව ලෙස ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවා ගත හැකි ණයකර කොටස් මිලියන 5ක් (5,000,000ක්) නිකුත් කෙරේ. එහිදී සෑම ණයකර කොටසක්ම රුපියල් 100ක් ලෙස මිල කෙරී තිබේ. එසේම මෙම නිකුතුවට හිමිවන අධිදායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 2.5ක් (2,500,000ක්) නිකුත් කිරීමටද RESUS Energy PLC සමාගම පියවර ගෙන ඇත.

මෙම ණයකර කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තුවන සමස්ත අරමුදලේ වටිනාකම රුපියල් මිලියන 750ක් (750,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

 මෙහිදී කල්පිරීමේ කාලය අනුව A සහ B ලෙස ණයකර නිකුතු කොටස් දෙකක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් වසර තුනකින් කල් පිරීමේ A කාණ්ඩය සතුව කාර්තුමය වශයෙන් ගෙවනු ලබන වර්ෂයකට 1.75%ක ප්ලාවිත කූපන් පොලී අනුපාතයක්ද, වසර පහක කල් පිරීමේ කාලයක් සහිත B කාණ්ඩය වෙත කාර්තුමය වශයෙන් ගෙවනු ලබන වර්ෂයකට 2.25%ක ප්ලාවිත පොලී අනුපාතයක්ද හිමිවන බව සමාගම සඳහන් කරයි.

මෙම ණයකර කොටස් නිකුතුවෙහි ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස NDB Investment Bank Limited සමාගමහ සහ Capital Alliance Partners Limited යන සමාගම් ක්‍රියා කරයි.

මේ අතර මෙම ණයකර කොටස් නිකුතුවට අදාළව RESUS Energy PLC සමාගම මගින් සකස් කළ සංස්ථා ප්‍රකාශයද ඊයේ දිනයේදී ප්‍රසිද්ධියට පත් කෙරිණි.

RESUS Energy PLC සමාගම මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගමකි. 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට එහි කොටස් හිමිකාරිත්වයෙන් කොටස් 25,714,012ක් එනම් 32.54%ක් ට්‍රයිඩන් පාර්ට්නර්ස් (පෞද්) සමාගම වෙත හිමිව තිබේ. එසේම කොටස් 25,705,718ක් එනම් 32.53%ක ප්‍රතිශතයක් ACL Cable PLC සමාගමට අයත් වෙයි. ඊට අමතරව කොටස් 4,204‍්,000ක එනම් 5.32%ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව/අයෙන්කා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් වෙයි.

Visits: 114