සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මේ වසරේදී ADB වෙතින් ඩොලර් බිලියන 2ක ණය ආධාර

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවසූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී සත්සුගු අසකාවා මහතා මේ බව සඳහන් කර තිබේ.

එසේම ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන් ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමු ව ඇති බව ද සභාපතිවරයා පවසා තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ලබා දී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි. මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබා දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කර තිබේ.

හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි. මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පැවසූ බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක හරුතෝ තකිමුරා (Haruto Takimura), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), අධ්‍යක්ෂ ජනරාල් කෙනෙචි යෝකොයාමා (Kenichi Yokoyama), ලේකම් මුහමඩ් ඒෂාන් ඛාන් (Muhammad Ehsan Khan), නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, බාහිර සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිට ඇත.

Visits: 102