කොටස්හිමිකරුවන් 10,500කට වගකිවයුතු නිසා IOC ඉන්ධන මිල තවත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් හරහා නිකුත් කරන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින්ද අද (මාර්තු 10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව ලංකා අයිඕසී 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් දක්වාද ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 214 ක් දක්වාද ඉහළ නැග තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය අනුපාතිකයේ නම්‍යශීලීබව ප්‍රකාශ කර පසුගිය දින 7ක කාලය තුළදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් අවප්‍රමාණය වූ බවත්, ඒ අනුව එය රුපියල් 230 සිට අද දිනය වනවිට රුපියල් 260ක් දක්වා ඉහළ නැග ඇති බවත් ලංකා අයිඕසී සමාගම පෙන්වා දෙයි.

එසේම රුසියානු තෙල් සහ නිෂ්පාදන සඳහා පූර්ණ ආනයන තහනමක්පැනවීමේ අපේක්ෂාවන්ද සමගින් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එය 2008 වසරෙන් පසුව ඉහළම අගයට අද ළගා වී ඇති බවත් ලංකා අයිඕසී සමාගම පවසයි.

“මෙවැනි බාහිර කම්පනවල බරපතලකම හේතුවෙන්, ලංකා අයිඕසී සමාගම හට සිය සිල්ලර විකුණුම් මිල ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 75කින්ද පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 50ක් වශයෙන් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට සිදු වෙයි.” යනුවෙන් සමාගම පවසයි.

මේ අතර ලංකා අයිඕසී සමාගම යනු එකම පොදු සීමිත ගණයේ බලශක්ති සමාගම බව පෙන්වා දෙන එම සමාගම, දේශීය කොටස් හිමියන් 10,500කට වැඩි ගණනකට වගකිව යුතු සමාගමක් බවත් මතක් කර දෙයි.

මෙහිදී ලංකාඅයිඕසී සමාගම රජයේ කිසිදු සහනාධාරයක් හිමි නොවන සමාගමක් බවද එම සමාගම සඳහන් කර සිටියි.

මෙය මාසයක පමණ කාලයකදී ලංකා අයිඕසී ඉන්ධන මිල ඉහළ නැංවූ තෙවැනි අවස්ථාවද වෙයි. පිළිවෙලින් පසුගිය පෙබරවාරි 06 වැනිදා සහ පෙබරවාරි 26 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමිමට එම සමාගම පියවර ගෙන තිබුණි.

Visits: 597