ASPI සහ S&P SL20 මෙතෙක් දිනක් තුළ ඉහළ ගිය වැඩිම අගය වාර්තා කරයි

අද (මාර්තු 10) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය එතෙක් මෙතෙක් දිනක් තුළදී ඉහළ ගිය වැඩිම අගයට පත්විමට සමත් විය. ඒ අනුව පසුගිය දින කිහිපයේදීම වෙළෙඳ පොළ තුළ ඇති වූ අලාභයන් යම් තරමකින් හෝ මඟහැරීමට මෙම ඉහළ යාම දායක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. මෙහිදී විශේෂයෙන්ම දිනය තුළදී ආයෝජකයන් තුළ ඉහළ ආකර්ෂණයක් දැකගත හැකි වූ නමුත්, දිගුකාලීන ආයෝජකයන් තුළ තවදුරටත් රටෙහි ආර්ථිකය පිළිබඳ යම් කණස්සලුබවක් පවතින බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,163.72ත් ඒකක 10,939.74ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,856.07ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 09) දිනයට සාපේක්ෂව ඒකක 692.35ක් එනම් +6.81%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+92.54), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+45.66), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+40.76), හේලිස් පීඑල්සී HAYL (+36.08), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+33.66), යුනයිටඩ් මෝටර්ස් පීඑල්සී UML (-1.02), යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (-0.75), කන්වීනියන් ෆුඩ්ස් ලංකා පීඑල්සී SOY (-0.65), සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී CDB (-0.59), ත්‍රී ඒකර් ෆාම්ස් පීඑල්සී TAFL (-0.57) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 207ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 25ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,731.14ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 09) ‍ට සාපේක්ෂව ඒකක 292.89ක එනම් +8.52%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 09) වාර්තා කළ රුපියල් බිලියන 2.5ට සාපේක්ෂව 43.1% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.30%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 41.08ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 19.76ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.32කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.71 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  7.48කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 2.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,340ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 37%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 664ක සහ රුපියල් මිලියන 487ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 141