කලම්බු ඩොක්යාර්ඩ් මාලදිවයින වෙනුවෙන් සාගර අභ්‍යන්තර ආපනශාලාවක සැකැස්මක් ඉදිකරයි

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම මාලදිවයිනේ ආනුගන්ඩු ෆාල්හු දූපතේ පිහිටි සංචාරක නවාතැනක් වෙනුවෙන් සාගර අභ්‍යන්තර ආපනශාලාවක් සඳහා වන සැකැස්මක් නිර්මාණය, අවශ්‍ය උපාංග සැපයීම, පිරිසැකැස්ම, ඇදගෙන යාම මෙන්ම එය සාගර අභ්‍යන්තරයේ පිහිටුවීම සඳහා වන උපදෙස් ලබා දීම ඇතුළු කටයුතු සාර්ථකව නිම කිරිමට සමත්ව ඇතැයි පවසයි.

මෙම සැකැස්ම ටොන් 440ක බරකින් යුක්ත වන්නකි. කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාග සඳහන් කරන ආකාරයට මෙම සැකැස්ම ඉදිකිරිම වෙනුවෙන් එම සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේදීය.

ඒ අනුව මාස හතක් වැනි කෙටි කාලයක් තුළදී මෙම සාගර අභ්‍යන්තර ආපනශාලාවේ ලෝහ සැකැස්ම නිර්මාණය කර සාර්ථක ලෙස මාලදිවයින වෙත භාරදීම පසුගිය පෙබරවාරි 18 වැනිදා සිදුව තිබේ. එය පසුගිය පෙබරවාරි 22 වැනිදා මාලදිවයින වෙත ළගා වී ඇත.

මෙහිදී එම සාගර අභ්‍යන්තර ආපනශාලා සැකැස්ම ඉතාමත් සාර්ථකව ආනුගන්ඩු දූපත්හි, කලපු අංක 17හි මූදු පතුලේ පිහිටුවීම සඳහා වන කටයුතු වෙතද කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී උපදෙස් ලබා දෙන බවත් පවසයි.

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී වෙත මෙම ඇනවුම ලබාදුන් සමාගමට අනුව එය සමාගම එම දූපත් ආශ්‍රිතව අලුතින් සංවර්ධනය කළ රිසෝට් පරිශ්‍රය වෙත ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් හිමිවන ස්ථානයක් බවට පත්වනු ඇතැයි සඳහන් වෙයි.

මෙම ආපනශාලාව තුළ එක් අවස්ථාවකදී 48 දෙනෙකු වෙත ආසන පහසුකම් පවතී. ඒ අනුව මෙම සාගර අභ්‍යන්තර ආපනශාලාව විවෘත කර සිය මෙහෙයුම් ආරම්භයත් සමගින්ම එය මාලදිවයිනේ පිහිටි විශාලතම සාගර අභ්‍යන්තර ආපනශාලාව බවට පත් වෙනු ඇති බවත් පැවසෙයි.

මෙම සාගර අභ්‍යන්තර ආපනශාලාව දිගින් මීටර් 32.78ක් වන අතර, සාගර ජල මට්ටමින් ඉහළ පිහිටි කොටස මීටර් 18ක් උසය.

මෙය කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී මගින් සිදු කළ මෙවැනි ආකාරයේ දෙවැනි ව්‍යාපෘතියයි. මීට පෙර මාලදිවයිනේම උතුරු මාෆාරු දූපත වෙතද මෙවැනිම සාගර අභ්‍යන්තර ආපනශාලා සැකැස්මක් නිර්මාණය කිරීමට එම සමාගම සමත්ව ඇත.

නෞකා ඉදිකිරීම, නෞකා අලුත්වැඩියාව සහ රට තුළ ඉංජිනේරු පහසුකම් සහිත පරිශ්‍රයක් ලෙස කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ප්‍රසිද්ධියට පත්ව සිටියි.

සමාගමේ කොටස් ප්‍රතිශතයෙන් 51%ක හිමිකාරීත්වයක් ඇත්තේ ඔනොමිචි ඩොක්යාර්ඩ් කම්පැනි ලිමිටඩ් සමාගමටයි. ඉතිරි කොටස් අතරින් 16.3%ක් සේවක අර්ථසාධක අරමුදලට හිමිය. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – සාමාන්‍ය අරමුදල වෙත 5%ක්ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත අරමුදල වෙත 4.9%ක් ද හිමිය. මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, ලංකා බැංකුවේ පළමු 01 ගිණුම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවටද සමාගමේ කොටස් හිමිය.

Visits: 320