“රුපියල අවප්‍රමාණය කිරීමෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකියි” – ආයෝජක නිමල් පෙරේරා

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම නම්‍යශීලිව අවප්‍රමාණය කිරීම මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

මහ බැංකුවෙහි මෙම තීරණය සම්බන්දයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අප සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් නිමල් පෙරේරා මහතා මේ බව පවසා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටෙහි සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රතිපත්ති මාලාව යටතේ මෙලෙස රුපියල අවප්‍රමාණය කිරීම සිදුවිය. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බලාත්මක වී තිබේ.

විශේෂයෙන්ම මෙම තීරණය හරහා අපනයනය සමාගම් වෙත යහපත් තත්ත්වයක් උදා වුවත්, අනිකුත් සියලු අංශවලට මේ හරහා අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි බව ඔහුගේ අදහස වී තිබේ.

“මේ තීරණය හරහා මූල්‍ය අංශයට කෙටිකාලීන වාසි ඇති වුණත් දිගු කාලීනව අවාසි සහගත තත්ත්වයක් ඇතිවිය හැකියි.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.

සිය තීරණය හේතුවෙන් ඉදිරියේදී එක්සත් ජනපද ඩොලරයක වටිනාකම රුපියල් 230ක් මට්ටමේ පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි මහ බැංකුවේ අදහසයි.

“ඒ වගේම මෙය ආනයන වියදම් ඉහළ යාම නිසා ජීවන වියදම ඉහළ යාම සහ පිටරට ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන්ට මෙය අයහපත් ලෙස බලපානු ඇති.” නිමල් පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට සෑහෙන විසඳුමක් මේ හරහා ඇතිවිය හැකි බවත්, එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹකොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක් උදා වනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ.

“මේ තීරණය රටේ ඩොලර් අර්බුදයට සෑහෙන විසදුමක් ලබා දේවි. ඒ වගේම පොදුවේ ගත්විට යහපත් ප්‍රතිවිපාක ආර්ථිකය තුල ඇතිවීමෙන් කොටස් වෙළඳපලටද යහපතක් ඇතිවේවි. විශේෂයෙන් විදේශ ආයෝජකයින්ට මෙය යහපත් අනුබලයක් ලබා දෙනු ඇති.” යනුවෙන්ද නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 2093