EX-Pack ශත 20ක ලාභාංශ ගෙවීමේ නිවේදනයත් සමගින්ම කොටසක වටිනාකම ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත EX-PACK Corrugated Cartons PLC සමාගම (PACK.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව EX-PACK Corrugated Cartons PLC සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 06 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 16 වැනිදා නම් කෙරී තිබේ.

EX-PACK Corrugated Cartons PLC සමාගම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා සිය පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස පසුගිය දෙසැම්බර් මාසයේදීද කොටසක් සඳහා රුපියල් ශත 20ක් බැගින් ලබාදිම සිදුවිය.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවී පැය භාගයක් ඇතුළතදී EX-PACK Corrugated Cartons PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 14.80ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 14.30ට සාපේක්ෂව ශත 50කින් එනම් 3.50%කින් වටිනාකම් ඉහළ යාමකි.

Visits: 173