සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එමිරේට්ස් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා  එමිරේට්ස් ගුවන් සමාගම හා මෙරට  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.

ඒ අනුව ඩුබායි පිහිටි එමිරේට්ස් මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (04) මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණු බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කිමාලි ප්‍රනාන්දු හා එමිරේට්ස් ගුවන් සමාගමේ බටහිර ආසියානු හා ඉන්දියානු සාගර කලාපිය වාණිජ මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ උප සභාපති අහ්මද්කූරි යන මහත්ම මහත්මීහූ ඊට අත්සන් තබා තිබේ.

එමිරේට්ස් ගුවන් සේවය වසර 30 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට සිය ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි. එම සමාගම ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගුවන් ගමන් ආරම්භ කළේ 1986 අප්‍රේල් මස 01 වෙනිදායි.

එමිරේට්ස් සමාගම කොවිඩ් වසංගත කාල සිමාව තුළද ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කල ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමකි. 2021 ජනවාරි මස 26 වන දින සිට ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත විමත් සමග එමිරේට්ස් ගුවන් සේවයෙන් ගුවන් මගින් 50,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඉතාලිය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලින් මෙම ගුවන් මගින් පැමිණ තිබේ. සතියකට එමිරේට්ස් ගුවන් යානා 21 ක් මේ වන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණේ.

අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කාලය තුළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එමිරේට්ස් ගුවන් සමාගම අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. සංචාරක ප්‍රදර්ශන, සමුළු සම්මන්ත්‍රණ, වැඩමුළු හා ප්‍රවර්ධන සංචාර මේ යටතේ සංවිධානය කිරීමට නියමිතයි.

මෙම ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින්, ලෝකයේ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග ඉදිරියේදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පැවසීය. මේ වසර තුළ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිපයක් අලුතින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබදව අදාල ගුවන් සේවාවන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළේය.

Visits: 91