හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ

හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර  ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවනු ලබන හයිඩ්‍රජන් වායුව හරිත හයිඩ්‍රජන් ලෙස හැඳින්වේ. මෙය අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වශයෙන් සැලකෙයි.

මෙහිදී නෝර්වේජියානු Greenstat සමාගමෙහි ඉන්දියාවේ තියෙන පාලිත සමාගමක් වන  Greenstat Indian සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය අතර මෙම අවබෝධතා ගිවිසුම පිහිටුවා ගෙන තිබේ.

ඒ සඳහා අත්සන් තැබීම බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් එම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකාවේ නොර්වේජියානු තනාපතිනි Trine Eskedal අතර සිදු විය.

මෙහිදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, “අපි දන්නවා ශ්‍රී ලංකාවට තවමත් තෙල් නැති වුණාට, පිටරටින් තෙල් ගේන්න ඩොලර් නැති වුණාට අපිට හොඳට හිරු එළිය තියෙනවා, සුළඟ තියනවා තියනවා. ඒ වගේම වැසි ජලය තියෙනවා. ඉතින් මේ අපේ හිරු එළියෙන් සුළඟෙන් නිසි ප්‍රයෝජනය අරගෙන අපිට පුළුවන් විදුලිය නිශ්පාදනය කරන්න.  වහින කාලෙට විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් නමුත්  විදුලිය ගබඩා කරගන්න  ක්‍රමයක් නෑ. හයිඩ්‍රජන් කියන්නේ බලශක්තිය ගබඩා කළ හැකි ක්‍රමවේදයක්. මෙතනදි අපි විදුලිය නිෂ්පාදනය කිරීමට හිරු එළිය සුළං වැනි පුනර්ජනනීය හරිත බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම හරහා හයිඩ්‍රජන්  නිෂ්පාදනය කළොත් තමයි අපිට ඒක හරිත හයිඩ්‍රජන් විදියට හඳුන්වන්න පුලුවන්.” යනුවෙන් පවසා ඇත.

මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, Greenstat (India) ආයතනයේ සභාපති Sturle Pedersen, නෝවේජියානු තනාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුන්දරී ජයසූරිය යන මහත්ම මහත්මීන් එක්විය.

Visits: 71