සිනමන් හොටේල්ස් ‘One Island Thousand Treasures’ නමින් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

Cinnamon හෝටල් සන්නාමය අයත් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම මගින් ශ්‍රී ලංකාව ‘නැරඹිය යුතුම‘ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන දායකත්වයේ තවත් එක් අවස්ථාවක් ලෙස ඊයේ දිනයේදී ‘One Island Thousand Treasures’ නමින් නවතම වැඩසටහනක් දියත් කෙරිණි.

මෙම නවතම වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව අප්‍රකට පුරාවෘත්තයන් හෙළි කරමින් ලෝකයේ බොහෝ සංචාරකයන් විසින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන සංස්කෘතිමය වශයෙන් සුවිශේෂී වූ කතාන්දරයන් ඔවුන් අතර ප්‍රචලිත කිරිම බව සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් පවසයි.

ඒ අනුව සාමාන්‍ය ගමන් හා විනෝද චාරිකාවන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන, පුද්ගලයන් හා සිදුවීම් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සක්‍රිය භූමිකාවක් ඉටු කිරිම Cinnamon හි අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමගින් එක්ව සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් ඉදිරිපත් කරන මෙම ‘One Island Thousand Treasures’ වැඩසටහනේ නිර්මාණ සහකරු ලෙස Dentsu Grant ආයතනය කටයුතු කරයි.  

ඒ අනුව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු, සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි අලෙවිකරණ උප සභාපති දිලීප මුදාදෙනිය සහ Dentsu Grant ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නීලා මරික්කාර් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම One Island Thousand Treasures’ වැඩසටහන දියත් කෙරිණි.

එහිදී සමාජ මාධ්‍ය හා ඩිජිටල් අලෙවිකරණ අවකාශයන් හරහා ලොව පුරා රසිකයන් සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට හා එම අත්දැකීම විඳ ගැනීම ඔවුන් දිරිමත් කිරිම සිදුවනු ඇතැයිද සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම පවසයි.

මෙහිදී අදහස් දක්වන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් මහතා, ‘One Island Thousand Treasures’ වැඩසටහන හරහා අප පොදුවේ දකින දේට වඩා අප්‍රකට ස්ථාන හා අත්දැකීම් පිළිබඳ දැනුවත් කිරීමෙන් ලෝකය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට හැකි වේවි. මෙම නවතම අත්දැකීම් පිළිබඳව වඩා හොඳින් සොයා බැලීම වෙනුවෙන් සංචාරකයන් දිරිමත් කිරීමට මෙම වැඩසටහන පිටිවහලක් වනු ඇති අතරම ඒ තුළින් ශ්‍රී ලංකාව සංචාරකයන්ට යළි යළිත් රස විඳීමට හැකි ගමනාන්තයක් බවට පත් කිරීමේ හැකියාව උදා වෙනවා.” යනුවෙන් පවසයි.

මෙම වැඩසටහන යටතේ ඩිජිටල් නිර්මාණකරුවන් හට සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් කණ්ඩායම සමග එක්ව ‘One Island Thousand Treasures’ වෙබ් අඩවිය හරහා හෝ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හෝ එසේත් නොමැති නම් යූටියුබ්හි @CinnamonHotels හා #OneIslandThousandTreasures ටැග් කිරීම තුළින් ඔවුන් මෙතෙක් සිදු කර ඇති සොයා ගැනීම් පටිගත කර බෙදා ගැනීමට අවකාශය උදා වෙයි.

මෙහිදී ඉදිරිපත් කෙරෙන නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් සමාලෝචනය කරනු ලබන අතර, එහිදී තෝරාගන්නා නිර්මාණ ඉදිරිපත් කළ පුද්ගලයන්/අන්තර්ගත නිර්මාණකරුවන් හට සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් ඇතුළුව තවත් සන්නාම රැසක අනුග්‍රාහකත්වය යටතේ සුවිශේෂී ප්‍රවර්ධන වට්ටම්, දීමනා සහ සංචාරයන් හිමි කරගැනීමටද අවස්ථාව උදා වන බව පවසයි.

මෙම ‘One Island Thousand Treasures’ වැඩසටහන පිළිබඳ තවදුරටත් තොරතුරු දැන ගැනීමට සහ එහි කොටස්කරුවෙකු වීම සඳහා www.oitt.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ www.facebook.com/cinnamonhotels සහ www.instagram.com/cinnamonhotels වෙත පිවිසීමෙන්ද සිදු කළ හැකිය.

Visits: 47