Saegis Campus උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පසුගියදා පැවැත්වුණි.

Saegis Campus උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංවිධානය කර තිබුණි. උපාධි සහ ඩිප්ලෝමා සම්පූර්ණ කළ සිසුන් 976 දෙනෙක් මෙහිදී තමන්ට අදාළ උපාධි සහ ඩිප්ලෝමා සහතිකපත් ලබාගත්හ.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය අජන්ත එස්. ධර්මසිරි මහතා සහ ඩයලොග් ආසියාටා පීඑල්සීහි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ද එක්ව සිටියහ.

මීට අමතරව Saegis Campus සභාපති බණ්ඩාර දිසානායක සහ අධ්‍යක්ෂ- අධ්‍යයන සබඳතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්.ජී.ඩී. ධර්මරත්න යන මහත්වරු ද, සනාතන සභාවේ සාමාජිකයෝ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු ද එම අවස්ථාවට සහභාගී වූහ.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී, එක්සත් රාජධානියේ Canterbury Christ Church University(CCCU) හි ව්‍යාපාර පරිපාලනවේදී (MBA) පශ්චාද් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 125 දෙනෙක් සහ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ විද්‍යාපති පශ්චාද් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 21 දෙනෙක් සිය උපාධි සහතික පත් ලබාගත්හ. දැනුම පදනම් කරගත් වර්තමාන ලෝකය තුළ නවීන දැනුමින් සහ නවෝත්පාදන චින්තනයෙන් හෙබි ගෝලීය මට්ටමේ පශ්චාද් උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ සමඟ ඇති කරගත් CCCU සහ Saegis Campusඅතර සබඳතාව ද මේ වනවිට ඉතාමත් ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතියි.

මෙම පශ්චාද් උපාධි පාඨමාලා උගන්වනු ලබන්නේ මෙරට සිටින සුප්‍රකට ආචාර්යවරු සහ වෘත්තීකයින් විසිනි. එහිදී සමාගම් ලෝකයට ඇතුළුවීමට සිටින සහ එහි ඉහළට ගමන් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අනාගත නායකයින්ට මෙන්ම ව්‍යවසායකයින්ට ද අති නවීන දැනුම සහ කුසලතා පිරිනැමීමට ප්‍රමුඛ අවධානයක් යොමුකෙරේ.

තව ද, මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී CCCU වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව)Top-up උපාධි සහ, පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි මෙන්ම එක්සත් රාජධානියේ Heriot Watt University හි ව්‍යාපාර කළමනාකරණ Top-up උපාධි සම්පූර්ණ කළ සිසුන් 201 දෙනෙක් ද සිය උපාධි ලබාගත්හ.

ඊට අමතරව, එක්සත් රාජධානියේ සුප්‍රකට ස්කොට්ලන්ත සුදුසුකම් අධිකාරියේ ව්‍යාපාර කළමනාකරණය සහ පරිගණක විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා (HND) සම්පූර්ණ කළ සිසුහු 560 දෙනෙක් ද මෙහිදී ඩිප්ලෝමා සහතික ලබාගත්හ.

″මෙම උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සියලු දෙනා විශිෂ්ටත්වය කරා යන ගමනේදී, ඔවුන්ගේ ප්‍රියතම දැනුම් සහකරු වීමට ලැබීම අපට විශාල ගෞරවයකි. එමෙන්ම සමාජයටත්, රටේ ආර්ථිකයටත් ඉහළ ප්‍රතිලාභ අත්කරදෙන අනාගතයට සූදානම් වෘත්තීකයින් බිහි කිරීම වෙනුවෙන් අපි ඉදිරියටත් වෙහෙසී කටයුතු කරන්නෙමු″, යැයි Saegis Campus උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

Visits: 84