Hayleys Free Zone බ්‍රිතාන්‍යයේ සිට අපද්‍රව්‍ය බහාලුම් රැගෙන ආවේ වෙනත් සමාගමකටලු

එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය රැගත් බහාලුම් රැගෙන ඒම පිළිබඳ සිදුවීමේදී අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබද Hayleys Free Zone සමාගමේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව එම සමාගම පවසයි.

ඒ අනුව, Hayleys Free Zone සමාගම මෙහි සැපයුම් සේවා පාර්ශවය (logistics service provider) ලෙස සිය සේවාවන් ලබා දීමට පමණක් කටයුතු කර ඇති බව එම සමාගම පවසා සිටියි.

මෙම සිදුවීමට අදාළව මෙරටට ගෙන ආ අපද්‍රව්‍ය බහාලුම් තොගයෙන් අවසන් බහාලුම් 45 ආපසු ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් Hayleys Free Zone ලිමිටඩ් සමාගම මෙම කරුණු සඳහන් කර සිටියි.

එම නිවේදනය මෙසේය,

මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි.

බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතර, මෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය මත පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මින් බහාලුම් යම් ප‍්‍රමාණයක් මුලදී ප‍්‍රතිඅපනයනය කිරීමට කටයුතු කර ඇති අතර, අද දින (21) අදාළ ඉතිරි බහාලුම් 45 යළි එක්සත් රාජධානිය වෙත යැවීමට කටයුතු කර තිබේ.

අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ, එක්සත් රාජධානියේ 241, B High Street North, London, England E21 6SJ යන ලිපිනයට අයත් M/s Vangaads Ltd යන සමාගම විසින් වන අතර, ඒ අදාළ බහාලුම් නො. 12, පාර්ක් පාර, කොළඹ 05 යන ලිපිනය දරන M/s ETL Colombo Pvt Ltd නම් පෞද්ගලික සමාගම අතරමැදියකු ලෙස ක‍්‍රියාකරමින් 157, 4C වින්සන් පාර්ක් II, ඇවරිවත්ත පාර, වත්තල යන ලිපිනය දරන M/s. Ceylon Metal Corporation Pvt Ltd නම් පෞද්ගලික සමාගමට භාර දීම සඳහාය.

මෙම අපද්‍රව්‍ය බහාලුම් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව Hayleys Free Zone සමාගමට චෝදනා එල්ල වූ මුත්, Hayleys Free Zone සමාගම අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය සම්බන්ධව ක‍්‍රියාකර ඇත්තේ භාණ්ඩ ආනයනය කළ පාර්ශවයට සේවා සපයන්නෙකු  (logistics service provider) ලෙස පමණි.

ඒ අනුව, Hayleys Free Zone සමාගම මෙහි සැපයුම් සේවා පාර්ශවය ලෙස සිය සේවාවන් ලබා දීමට පමණක් කටයුතු කර ඇති අතර, අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබද කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමු.

Visits: 174