සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් හදිසි අවස්ථා අරමුදලක් පිහිටුවීමට අවධානය

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් වෙනුවෙන් හදිසි අවස්ථා අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

රට තුළ ඇතිවිය හැකි හදිසි ආපදා අවස්ථාවක දී සංචාරක ව්‍යාපාරය කිසියම් කඩා වැටීමකට ලක්වුවහොත් එම ක්ෂේත්‍ර යේ නිරත වන්නන්ට සහන සැලසීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව යෝජිත නව සංචාරක පණත යටතේ මෙම හදිසි අවස්ථා අරමුදල පිහිටුවීමට නියමිතව තිබේ.

එහිදී සංචාරක ක්ෂේත්‍රය සදහා යෝජිත සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව අරමුදල පිහිටුවිම කෙරෙහි අවධානය යොමුව ඇතැයිද ඇමතිවරයා පවසයි.

කොවිඩ් වසංගත කාලය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රය නිරත වුවන් රැක ගැනීම සදහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී කොවිඩ් නිසා පීඩාවට පත් වු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 20,000 ක දීමනාවකුත්, පළාත් සභා මට්ටමින් ලියාපදිංචි  සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 ක දීමනාවකුත් ලබාදිමට පියවර ගෙන තිබේ.

ඒ අතරින් ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 2,575 ක් සදහා මෙම දිමනාව මේ වන විට ගෙවා ඇතැයි අමාත්‍යාංශය පවසයි. එලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 48කට අධිකය.

මීට අමතරව සංචාරකයන් මාර්ගෝපදේශකයන් ලියාපදිංචිය හා පුහුණු කිරිම සදහා  සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය මගින් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ඇමතිවරයා කියයි. මේ වන විට සංචාරක මාර්ගෝපදේශකයන් 4,367 දෙනෙකු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 58