DFCC බැංකුවෙන් රු.3ක මුදල් ලාභාංශ ලෙස රු.මි. 961ක් වටිනා කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත  DFCC බැංකුව සිය කොටස්හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 19.63ක් සඳහාම අලුතින් එක් කොටසක් හිමිවන ලෙස මෙම කොටස් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 16,325,421 කි. එම එක් කොටසක් රුපියල් 58.90ක වටිනාකමක් ගන්නා බවත් DFCC බැංකුව සඳහන් කරයි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන කොටස් ලාභාංශයක් බව බැංකුව පවසයි. මෙහිදී එම කොටස් ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

මෙලෙස හිමිකරුවන් වෙත ලබා දෙන සමස්ත කොටස් ලාභාංශයේ වටිනාකම රුපියල් මිලියන 961ක් (961,567,308.00ක්) ලෙස ගණන් බලා තිබේ.

ඒ අනුව මෙය DFCC බැංකුව මගින් සිය සෑම ඡන්ද හිමි කොටස්කරුවෙකු සඳහාම කොටසකට රුපියල් 3ක් බැගින් සිදු කරන මුදල් ලාභාංශ ගෙවීමක් හා සමාන බවත් බැංකුව පවසයි. 2022 පෙබරවාරි 17 වැනිදා වනවිට බැංකුව මගින් නිකුත් කර තිබූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 320,522,436කි.

අද වනවිට DFCC බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 8.6ක් (8,600,457‍්,016.87ක්) ලෙස ගණන් බලා ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

Visits: 133