DFCC බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ බැංකුව ලෙස නම් කෙරේ

DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ.

1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන වෙළඳපොළවල් සම්බන්ධ ප්‍රමුඛතම සඟරාවකි. එම සඟරාව මගින් පවත්වනු ලබන මුදල් කළමනාකරණ සමීක්ෂණය,  ජාත්‍යන්තර මුදල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් හිමි සමීක්ෂණයක් වන අතර, එය ජාත්‍යන්තර වෙළඳපොළේ ද්‍රවශීලතාව සහ මුදල් කළමනාකරණය යන අංශ සම්බන්ධයෙන් වඩාත්ම පුළුල් මගපෙන්වීම ලෙස සැලකේ. එම නිසා ලොව පුරා ඉහළම තලයේ මුදල් කළමනාකාරවරුන්, භාණ්ඩාගාරිකවරුන් සහ මූල්‍ය නිලධාරීන් ඇතුළුව, අදාළ ක්ෂේත්‍ර වලට සම්බන්ධ පිරිස් මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් දක්වති. මෙවර Euromoney සමීක්ෂණය පවත්වන ලද්දේ 20 වන වරට වන අතර, DFCC බැංකුව ඊට ඉදිරිපත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2020 වසරේදී මෙම සමීක්ෂණයේ ‘මුදල් කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම සේවාව’ සම්මානය දිනාගැනීමට DFCC බැංකුව සමත් වූ අතර, 2021 වසර සඳහා ප්‍රථම වරට වෙළඳපොළ ප්‍රමුඛතා සම්මානයකින් පිදුම් ලැබීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.

DFCC iConnect යනු අති-නවීන මුදල් කළමනාකරණ විසඳුම් පිරිනමන ඉලෙක්ට්‍රොනික බැංකුකරණ සේවාවකි. එය නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉතාමත් පහසුවෙන්, ද්‍රවශීලතාව, ගෙවීම් සහ මුදල් කළමනාකරණය යනාදී අංශ වලට අදාළ එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙයි. මෙමගින් ගනුදෙනුකාර ආයතන වල මූල්‍ය හා භාණ්ඩාගාර අංශ වලට, මෙරට මෙන්ම විදේශ රටවල සිට, තම සමාගම සතු DFCC බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ. එමගින් සජීවීව ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීම, දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් සිදුකිරීම සහ ගෙවීම් භාරගැනීම යනාදී අවශ්‍යතා රාශියක්, වසරේ සෑම දිනකම පැය 24 පුරා ඉටුකර ගැනීමට අවස්ථාව හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා “2021 වසරේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. DFCC බැංකුවට මෙම සමීක්ෂණය මගින් වෙළඳපොළ ප්‍රමුඛතා සම්මානයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර 2020 වසර සඳහා අපට විශිෂ්ටතම සේවා සම්මානයක් හිමි වුණා. වසර 5 ක් වැනි කෙටි කාලයක් තුළ DFCC iConnect සේවාව කෙතරම් දුරකට සාර්ථක වී තිබේද යන්නට මෙය ඉතා හොඳ සාක්ෂියක්. මෙම සමීක්ෂණයේදී අප වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කළ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමිවෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර තලයේ සේවාවන් හඳුන්වා දීම සඳහා අපගේ කණ්ඩායම ගන්නා මේ උත්සාහයන් අපට සැබැවින්ම ආඩම්බරයක්. මෙම ඇගයීම, මුදල් කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය යොදාගනිමින්, නිර්මාණශීලී සහ අතිශයින් පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුමක් හඳුන්වා දීම සඳහා අප ගත් උත්සාහයේ සාර්ථකත්වයට ඉතා හොඳ සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.” යනුවෙන් පවසයි.

කාටත් ගැළපෙන බැංකුව වශයෙන් DFCC බැංකුව සිය නවෝත්පාදන හැකියාව, නවීන ඩිජිටල් තාක්ෂණය සහ තිරසාර ක්‍රමෝපායන් සමගින්, පාරිභෝගිකයන් සහ අභ්‍යන්තර හවුල්කරුවන් යන දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සලසන හඳුන්වා දීම් රාශියක් සිදුකර ඇති අතර, ඒ ඔස්සේ දිගින් දිගටම එම බැංකුව වෙත මෙබඳු ඇගයීම් හිමිවනු නිසැක ය.

Visits: 60