බජාජ් සමූහයේ හිටපු සභාපති රාහුල් බජාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාගම් සමූහයක් වන බජාජ් සමූහයේ හිටපු සභාපතිවරයා වූ රාහුල් බජාජ් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වනවිට ඒ මහතා 83 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ මරණයට හේතුව නියුමෝනියා රෝග තත්ත්වයක් සහ හෘදයාබාධ තත්ත්වයක් බව බටහිර පූනේ හි පිහිටි රූබි හෝල් ක්ලින් රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

රාහුල් බජාජ් මහතා පසුගිය වසරේදී බජාජ් සමූහයේ තමන් දැරූ තනතුරු සියල්ලගෙන්ම විශ්‍රාම ගියේය. ඒ අනුව ඔහුගේ දරුවන් වන රජීව් බජාජ්, සන්ජීව් බජාජ් සහ සුනයිනා කෙජ්රිවාල් වෙත ව්‍යාපාරය භෘර දීම සිදු විය.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව 2021 පෙබරවාරි මාසය වනවිට රාහුල් බජාජ් මහතා ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුනු ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 421 වැනි ස්ථානයේ පසුව තිබේ. ඒ වනවිට ඔහු සතුව තිබූ වත්කම ඩොලර් බිලියන 8.2ක් විය.

රාහුල් බජාජ් මහතාගේ සීයා වූ ජම්නාලාල් බජාජ් මහතා විසින් බජාජ් සමූහය ආරම්භ කරන ලද්දේ 1926 වසරේදීය. ඔහුගෙන් පසුව එම සමූහය රාහුල් බජාජ්ගේ පියා යටතට පත් වූ අතර, රාහුල් බජාජ් එහි සභාපතිවරයා බවට පත්වූයේ ඉන් පසුවයි.

රාහුල් බජාජ් උපත ලැබූවේ 1938 වසරේ දීය. අනතුරුව ඔහු ඉන්දියාවෙන් සිය මූලික අධ්‍යාපනය ලැබ එක්සත් ජනපදයේ හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හිදී උපාධියක්ද හැදෑරීය. සිය වසර 30 සපිරෙද්දී ඔහුට බජාජ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වීමට හැකිවිය. ඒ එවකට බජාජ් සමූහයේ සභාපතිවරයා වූ ඔහුගේ පියා වන කමල්නායන් බජාජ් යටතේය.

සිය පියාගෙන් අනතුරුව බජාජ් සමූහයේ වගකීම් භාර ගැනීමත් සමගින්ම රාහුල් බජාජ් එහි මෙහෙයුම් විවිධාංගීකරණයට ලක් කර තිබේ. ඒ හරහා සමූහයේ වර්ධනය ඉහළ ගිය බව පැවසෙයි. ඒ අනුව සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ, ආයෝජන සහ පාරිභෝගික මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි ලාම්පු, සුළං විදුලිබලය, මලනොබැදෙන ලෝහ භාණ්ඩ සහ සංචාරක කර්මාන්තයද ඒ අතර විය. සුප්‍රසිද්ධ බජාජ් ඔටෝ සමාගම බිහිවන්නේද ඔහුගේ ප්‍රධානත්වයෙනි. එහිදී බජාජ් යතුරු පැදි මෙන්ම ත්‍රීවිලර් රථ ඉන්දියාවේ මෙන්ම තවත් ලොව බොහෝ රටවලද ජනප්‍රිය විය.

Visits: 244