තන්ත්‍රී ට්‍රේලර්ස් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම[Tantri Trailers (Pvt.) Ltd.] පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ රැකියා අවස්ථා හිමි වේ.

මේ අනුව වෘත්තීය පුහුණු අධිකාරියේදී ලබන පුහුණුවට අමතරව වැඩිදුර පුහුණුවක් සහතික කිරීම සඳහා, පුහුණු හා නුපුහුණු සිසු සිසුවියන් රැකියා සඳහා බඳවා ගැනීමට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම කටයුතු කරනු ඇත. මෙය තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ කාර්ය මණ්ඩලයේ ශක්තිය වර්ධනය කරන අතරම වෘත්තීය පුහුණු අධිකාරියට තම පාඨමාලා හදාරන සිසුන්ට වඩාත් ප්‍රායෝගික හා පරිපූර්ණ දැනුමක් හා පළපුරුද්දක් ලබාදීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නිසැක ය.

ශ්‍රී ලංකා නාවික හමුදානිලදාරියකු වන ජෝන් හපුතන්ත්‍රී මහතා විසින් 1979 වර්ෂයේදී තන්ත්‍රී ට්‍රේලර්ස් හි මුල් සමාගම ආරම්භ කරන ලදි. 1982 වර්ෂයේදී සිය ප්‍රථම ට්‍රේලරය නිපදවූ එම සමාගම වාණිජ මට්ටමින් නිෂ්පාදන කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලද්දේ 1986 වසරේදී ය. 1991 වසරේදී වානේ නිෂ්පාදන සම්බන්ධ වෙනම අංශයක් ලෙස තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම ආරම්භ කරන ලද අතර, එතැන් පටන් එම සමාගම දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් සඳහා කාර්ය සම්පාදන විසඳුම් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම හා අපනයනය කිරීම මෙන්ම, බර ලෝහ හා වානේ නිෂ්පාදන ව්‍යාපෘති රාශියකට දායක වීමද සිදුකර ඇත. මේ වනවිට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම ට්‍රේලර්, ටෑන්කර්, ඉදිකිරීම් යන්ත්‍රාගාර හා උපකරණ, ගබඩා ටැංකි, සයිලෝ, ව්‍යුහයන්, දොඹකර ඇතුළු තවත් උපකරණ හා නිෂ්පාදන රාශියක් නිපදවන අතර, රටවල් 30 කට අධික සංඛ්‍යාවක් වෙත තම නිෂ්පාදන අපනයන කරයි.එසේම තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම නැවතධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මැදිරි 200ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය අති සාර්ථකව නිමා කරමින් සිය ජාතික මෙහෙවර වඩාත් උසස් මට්ටමින් ඉටු කිරීමටද සමත්ව තිබේ.

SGS ISO 9001-2015 ප්‍රමිතිය යටතේ ට්‍රේලර්, සෙමි-ට්‍රේලර්, ලෝහ ව්‍යුහයන් සහ ටැංකි සැලසුම් කිරීම, නිෂ්පාදනය, අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන් ලබාදීම සඳහා තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම සහතික ලබා ඇත. එමෙන්ම නවතම තාක්ෂණයන් හා ප්‍රවණතා අනුව තම නිෂ්පාදන කටයුතු හා සේවාවන්හි ප්‍රමිතිය වැඩිදියුණු කිරීමටද එම සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. එම නිසා ට්‍රේලර් පමණක් නොව පුළුල් පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ වර්ග රාශියක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම සමත් වී තිබේ.

මේ වනවිට වෙළඳපොළ තුළ පවතින සීමාවන් හා අභියෝග හමුවේ පවා අනාගතයේදී පැහැදිලි ප්‍රගතියක් අත්පත් කරගත හැකි පසුබිමක් පවතින බව තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම විශ්වාස කරයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග අත්සත් තැබූ අවබෝධතා ගිවිසුම සමාගමේ ඉදිරි ගමන සම්බන්ධ වැදගත් පියවරක් වන අතර, එය තරුණ පරපුර අතර විරැකියාව තුරන් කිරීමේ උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමටද දායක වනු ඇත.

Visits: 91