දීපව්‍යාප්ත චිත‍්‍ර සහ රචනා තරඟයක් සමඟ සෙලින්කෝ ලයිෆ් ‘ජීවිත රක්ෂණ සතිය’ අරඹයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 15 වන වරට පවත්වන ‘සෙලින්කෝ ලයිෆ් – ජීවිත රක්ෂණ සතිය’ තුළින් ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

පෙබරවාරි 11 සිට පෙබරවාරි 17 වන සතිය ‘ජීවිත රක්ෂණ සතිය’ ලෙස හදුන්වන අතර එයට සමගාමීව රට පුරා දරුවන් වෙනුවෙන් චිත‍්‍ර සහ රචනා තරඟයක් පැවැත්වේ.

මෙම දීපව්‍යාප්ත චිත‍්‍ර සහ රචනා තරඟය ‘සිහින සිතුවම්’ ලෙසින් නම්කර තිබෙන අතර ‘මගේ අනාගත බලාපොරොත්තුව’ යන තේමාවෙන් චිත‍්‍ර සහ රචනා භාර ගනු ඇත. ජීවිත රක්ෂණය මගින් රක්ෂණ ඔප්පුහිමියන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයන්ගේ ජිවිතයට ඇති අවධානම අවම කරමින් ඔවුන්ට අරමුණු ජයගැනීමට ලබාදෙන දිරිය පිළිබඳ පණිවුඩය මෙන්ම දරුවන්ගේ නිර්මාණශිලී කුසලතා වර්ධනයට මෙම චිත‍්‍ර සහ රචනා තරඟය ඉවහල් වේ යැයි සෙලින්කෝ ලයිෆ් බලාපොරොත්තු වෙයි.

එනම් අවුරුදු 4-7, අවුරුදු 8-11 සහ අවුරුදු 12-15 ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග‍්‍රාහක දරුවන් 312 කට මුදල් සහ ත්‍යාග පිරිනැමීමට සමාගම අපේක්ෂා කරයි. මෙම වයස් කාණ්ඩ තුන සඳහාම චිත‍්‍ර තරඟය පැවැත්වෙන අතර රචනා තරඟය වැඩි වයස් කාණ්ඩ දෙක සඳහා පමණක් පැවැත්වෙන බව සෙලින්කෝ ලයිෆ් පවසයි. එක් අයදුම්කරුවෙකුට එක් නිර්මාණයක් පමණක් යොමුකළ හැකිබව සමාගම සඳහන් කරයි. චිත‍්‍ර නිර්මාණ මෙන්ම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් ලිඛිත රචනා නිර්මාණ මාර්තු 15 වනදාට පෙර සෙලින්කෝ ලයිෆ් වෙබ් අඩවිය හරහා හෝ ළඟම පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාව හරහා භාරදිය හැකිබව සමාගම පවසයි.

මේ වසරේ ජීවිත රක්ෂණ සතිය සහ ‘සිහින සිතුවම්’ ආරම්භ කිරීම පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම තරඟයේ තේමාව මගින් දරුවන්ට ඔවුන්ගේ සිහින පිළිබඳව කල්පනා කිරීමටත් එම සිහින ජයගැනීමට ඔවුන්ට සහාය වීමට වැඩිහිටියන්ට ඇති වගකීම මතක් කිරීමක් ද සිදුකරනවා. සෙලින්කෝ ලයිෆ් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිත වලට ඇති අවධානම අවම කර තිබීම මේ සඳහා වැදගත් වනවා. ජීවිත රක්ෂණ සතිය සමග රක්ෂණ ඔප්පුහිමියන්ට ඔවුන්ගේ ජීවන අරමුණු ජයගැනීම සඳහා පාර්ශවකරුවෙකු ලෙස අපි ලබාදෙන සහයෝගය පිළිබඳව දැනුවත් කිරීමටත් අපිට අවශ්‍යයයි.’ 

‘සිහින සිතුවම්’ තරඟයේ සෑම වයස් කාණ්ඩයකම පළමු ස්ථානය දිනාගන්නා ජයග‍්‍රාහකයාට රුපියල් 30,000 ක්, දෙවැන්නාට රුපියල් 20,000 ක් සහ තෙවැන්නාට රුපියල් 10,000 ක මුදලක් ප‍්‍රදානය කරන බව සමාගම පවසයි. මීට අමතරව, දරුවන් 225 දෙනෙකුගේ නිර්මාණශීලී කුසලතා ඇගයීමට දිස්ත‍්‍රික් ත්‍යාග සහ සැනසිලි ත්‍යාග ලබා දෙන බව සමාගම සඳහන් කරයි. එසේම, ‘සිහින සිතුවම්’ තරඟය සඳහා සහභාගීවන සෑම දරුවෙකුම දිරි ගන්වන අදහසින් සහභාගීත්ව සහතික පත‍්‍රයක් පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු යොදා තිබේ.   

Visits: 443